ඔබේ ළදරුවාට නිසි කලට නිසි එන්නත් ලබා දිය යුත්තේ ඇයි?

0
9


එක් එක් වයස් සීමාවන්හිදී එක් එක් ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග ලබාදීම නිසා අතීතයේ පැවති බොහොමයක් බෝවන රෝග තත්ත්වයන්ගෙන් ආරක‍ෂා වීමට අද වන විට දැයේ දරුවන් වාසනාවනත්ය. එසේ නොවන්නට අනාගත පරපුරට නොයෙක් රෝගාබාධ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා පමණක් නොව ආබාධිත සහ ආයුෂ අවම පිරිසක් බවට වුවද පත්වීමට ඉඩ ඇත.

හෙට දින ලොව බාරගන්නට සිටිනා දැයේ දුවා දරුවන්ගේ අද දවස භාරව සිටින ඔබ භයානක රෝග තත්ත්වයන්ගෙන් දරුවන් රැකගැනීමට ප්‍රතිශක්තීකරණ ක්‍රියාදාමය පිළිබඳව මෙන්ම ඒ තුළින් වැලකී ඇති රෝග පිළිබඳවද දැනුවත් වීම වැදගත්ය. පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව දරුවන්ට ලබාදීමට නියමිත එන්නත් මාලාව ඇරඹෙන්නේ උපතෙන් පැය විසිිහතරක් ඇතුළත ලබා දෙන බීසීජී එන්නතෙනි. දරුවා ඉපදී රෝහලෙන් පිටව යන අවස්ථාවේදී මව වෙත ලබා දෙන සෞඛ්‍ය වර්ධන සටහන් පොතෙහි පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට අනුව උපතේ සිටම දරුවන්හට ලබාදිය යුතු එන්නත් සහ ලබාදිය යුතු වයස් සීමාවන් නිවැරදිව ඇතුළත් කොට තිබේ.

ටී බී මෙනෙන්ජයිටීස් සහ මිලියරි ටී බී යන ක‍ෂයරෝගය සඳහා පවතින අවධානම් තත්ත්වයන් මගහරවාලයි. මාස හය සම්පූර්ණ වන විට බීසීජී එන්නතේ කැළල ඇති වී නැතිනම් වෛද්‍ය උපදෙස් මත නැවත එන්නත ලබාදීම සිදු කෙරේ.

ත්‍රිත්ව එන්නත, හිබ් එන්නත, හෙපටයිටීස් බී සහ පෝලියෝ මුඛ එන්නත

ත්‍රිත්ව එන්නත – ගලපටලය, කක්කල්කැස්ස මෙන්ම පිටගැස්ම යන රෝගී තත්ත්වයන් තුන මැඩපවත්වයි.

පෝලියෝ මුඛ එන්නත – පෝලියෝ රෝගී තත්ත්වයට පත්වුවහොත් එම දරුවා ජීවිත කාලය පුරාම ආබාධිත තත්ත්වයට පත්විය හැකිය. එම නිසා මව්වරුන් ඒ පිළිබඳව තම අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. පෝලියෝ තත්ත්වය සඳහා දැනට ලබා දෙන එන්නතේ ප්‍රභේද දෙකකි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකයේ පෝලියෝ තුරන් කිරීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මකව පවතින අතරම ඒ අදහසට අනුව පෝලියෝ මුඛ එන්නතත් සමග මාස හතර සම්පූර්ණ දරුවන් වෙත ලබාදෙන අජීවී පෝලියෝ එන්නත ලබාදීම සිදුකරයි.

හෙපටයිටීස් බී – අක්මාවේ ආසාදන වැළැක්වීමට දෙන අත්‍යවශ්‍ය එන්නතකි. මෙම එන්නත පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මාස 2, 4, 6 යන වයස් සීමාවන්හිදී ත්‍රිත්ව එන්නත හා සමගම ලබා දේ.

හෙපටයිටීස් රෝගී තත්ත්වයේ පෙලෙන මවකගෙන් බිහිවන දරුවාට රෝගය බෝ විය හැකි අතරම ඔබ එවැනි මවක් නම් පළමු පූර්ව ප්‍රසව සායනයේදීම ඒ පිළිබඳව වෛද්‍යවරයාට දැනුම් දීම අනිවාර්ය බව සිහිතබාන්න. ගැබිනි සමයේ හෝ ප්‍රසූතියේදී මවගේ රුධිරය හරහා දරුවාට මේ රෝගකාරක වෛරස බෝවිය හැකි වීම එයට මූලික හේතුවයි. කල්තියා වෛද්‍යවරු දැනුවත් කිරීම මගින් ඔබගේ දරුවාට ඇති විය හැකි මෙම භයානක රෝගය වලක්වා ගැනීමට අවශ්‍ය පියවර වෛද්‍යකාර්ය මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ඇත.  එහිදී දරුවාගේ රුධිර  සාම්පල රසායනාගාර පර්යේෂණ සඳහා යොමුකොට රෝගය දරුවාට බෝවීම වැලැක්වීම සඳහා  දිය යුතු එන්නත් ලබා දීම සිදු කරයි.

රෝග ලක‍ෂණ පෙන්නුම් නොකරමින් කාලයක් පුරා සිරුරේ පවතින මෙම වෛරසය නිසා ක්‍රමක්‍රමයෙන් අක්මාව අක්‍රිය තත්ත්වයට පත්ව මිය යාමට වුවද හැකයි.

හිබ් එන්නත  –   හිමොෆිලස් ඉන්ෆලූවෙන්සි බැක්ටීරියාවට එරෙහිව ලබා දෙන හිබ් එන්නත පෙන්ටා වේලන්ට් එන්නතේ අඩංගු වේ. උගුරේ අමාරු, මොලේ පටක වල අසාදාදන (මෙනෙන්ජයිටීස්), කනෙන් සැරව ගැලීම් වැනි මැද කනේ ආසාදන වැනි තත්ත්වයන් මේ වයස් සීමාවන් තුළ බහුලව ඇති විය හැකි අතරම හිබ් එන්නත මගින් එවන් තත්ත්වයන් ඇතීවීම වළක්වාලයි.

සරම්ප, කම්මුල්ගාය, ජර්මන් සරම්ප (රුඛෙල්ලා) යන ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන බෝවන රෝග තුනකට එරහෙිව එම් එම් ආර් එන්නත ලබාදේ. එම් එම් ආර් එන්නතෙහි පළමු මාත්‍රාව වයස මාස 9 සම්පූර්ණ වූ පුසවද දෙවන මාත්‍රාව අවුරුදු තුන සම්පූර්ණ වූ පසුව ද ලබාදේ.

සරම්ප රෝගය ද කම්මුල්ගාය මෙන්ම ”පැරමික්සෝ” වෛරස පවුලට අයත් වෛරසයක් මගින් ඇතිවන ස්වසන පද්ධතිය හරහා බෝවන රෝගී තත්ත්වයකි. කුඩා දරුවන්ට ඇති වූ විට තද උණ, කැස්ස, ඇස් රතු පැහැ වී කදුළු ගැලීම, රතු පැහැති ලප ඇතිවිය හැකිය. සරම්ප රෝග තත්ත්වය නිසා බ්‍රොන්කොනිව්මෝනියා නැමති ස්වසන පද්ධතියේ සංකූලතා ඇති විය හැකියි. එසේම දෘෂ්‍යාබාධ, ශ්‍රවණාබාධ, ස්නායු පද්ධතියේ ආසාදන මෙන්ම උදරයේ අසාදනයන් ද දැකිය හැක. දරුවකුගේ මානසික වර්ධනය අඩාල කිරීමට මෙන්ම ඇසීමේ පෙනීමේ දුර්වලතා ඇති කරමින් දරුවන් මන්දපෝෂණය තත්ත්වයට පත්කරන රෝගයකි.

සරම්ප රෝගය වැළදුණහොත් ස්වසන පද්ධතියේ ආසාදන මත මාංශ පේශීන් අක්‍රීය වී දරුවා මිය යාමට වුවත් ඉඩකඩ ඇති බැවින් සෑම දරුවෙකුහටම සරම්ප රෝගයට අදාල එන්නත ලබාදිය යුතුය. මීට පෙර මාස නමය සම්පූර්ණ වූ දරුවනට තනි එන්නතක් ලෙස සරම්ප එන්නත ලබා දී ඇත. නමුත් අද වන විට මාස නමය සම්පූර්ණ දරුවනට ලබා දෙන එම් එම් ආර් එන්නතෙහි සරම්ප එන්නතද අන්තර්ගත බැවින් සරම්ප සඳහා වෙනම එන්නතක් ලබාදීම අවශ්‍ය නොවේ.

පැරාමික්සෝ වෛරස පවුලට අයත් වෛරසයක් හේතුවෙන් වයස භේදයකින් තොරව ඇති විය හැකි කම්මුල්ගාය රෝග තත්ත්වය ස්වසන පද්ධතිය හරහා පිටවන බිඳිති මගින් බෝවේ. කේඨ ග්‍රන්ථී ආසාදනය මගින් 30%- 40%  කම්මුල් දෙපස පිහිටි පැරොටිඩ් ග්‍රන්ථීය ආසාදනය වී මුව විවර කිරීමට අපහසු වේ. පැරොටිඩ් ග්‍රන්ථීයට අමතරව වෘෂණකෝෂ සහ මොළයේ ආසාදන, හෘදයේ අසාදන, සුසුම්නාවේ ආසාදන, කාන්තාවන්ගේ ඩිම්බකෝෂවල ආසාදනයන් මෙන්ම ඉතාම කලාතුරකින් පිරිමි දරුවන් වඳභාවයට පත්වීම ද මේ තත්ත්වය මත ඇති විය හැකිය. තවද කලාතුරකින් අග්න්‍යාෂය වැනි අවයව ආසාදනයට ලක් වීම නිසා උදරයේ වේදනාවක් ඇතිවිය හැකියි. ඇතැම් විට ශ්‍රවණ ඉන්ද්‍රිය වෙත ගමන්කරන ස්නායුවක් ආසාධනයට ලක්වීම හේතුවෙන් කම්මුල්ගාය ඇතිවූ රෝගීන් 20,000ක් අතරින් එක් අයෙකු සදහටම බිහිරිභාවයට පත්වීමට ඉඩ ඇත. ළදරුවියේ සිටම නිසි කලට නිසි එන්නත් ලබාදී මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් මුදවාගන්න.

මෙම රෝගය ඇති වන්නේ ”ටෝගා” නම් වූ වෛරස පවුලට අයත් වෛරසයක් මගිනි. ස්වසන පද්ධතියේ කුඩා බිඳිති මගින් බෝවීම සිදුවේ. සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයේ සිටින පුද්ගලයෙකුට වැළදුණහොත් කම්මුල්ගාය තරම්ම දරුණු නොවූ රෝගී තත්ත්වයක් වන ජර්මන් සරම්ප රෝගයේ ලක‍ෂණ ලෙස මද උණ ගතිය, ගෙල දෙපස සහ කන පිටුපස ඇති වසා ග්‍රන්ථීවල ඉදිමුම සහ ඛෙල්ල අවට රතු පැහැති ලප දැකිය හැකිය.

මෙම එන්නත ලබාගැනීම වඩා වැදත් වන්නේ ගැබිනි සමයේ ඇති වුවහොත් කලලයට ඇති විය හැකි හානි වළක්වා ගැනීමටයි. කෙසේ වුවද ගැබිනි සමයේ පළමු මාස තුන ඇතුළත සිටින කාන්තාවක් මේ තත්ත්වයට ගොදුරු වුවහොත් කලල මොළයේ, හෘදවස්තුවේ, ස්නායු පද්ධතියේ විකෘතිතා ඇතිවිය හැකියි. ඒ වගේම ශ්‍රවණ ආබාධ මෙන්ම ඇසේ සුද ඇති වීම වැනි සංකූලතාවයන් ද බොහොමයක් ඇතිවිය හැකිය. ඇතැම්විට ගබ්සා වීම් සිදුවේ. දරුවෙකු පිළසිඳ ගැනීමට මාස තුනකට පෙර රුඛෙල්ලා සඳහා වූ එන්නත ලබා ගැනීමට වෛද්‍යවරු උපදෙස් ලබාදෙන්නේ ඒ නිසාය.

ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ තත්ත්වයට කුඩා දරුවන්ට ඇති ඔරොත්තු දීමේ හැකියාව අවමය. රෝගය වැලදුණු කුඩා දරුවන් අතරින් ජීවිත අහිමි වීම් 30% දක්වා ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඇතැමුන් සුව වුවද ඒ අතරින් අඩකටම පමණ ස්ථීර ස්නායු දුර්වලතා ඇති විය හැකිය.

ජපන් එන්සෙපලයිටීස් යන නම නුහුරු වුවද මොළේ උණ කියූ සැණින් අපි කවුරුත් හොඳින් දන්නා මෙය සතුන් මගින් බෝ වන මොළයේ ඇති වන භයානක ආසාදන තත්ත්වයකි. ඩෙංගු රෝගය බෝ කරන වෛරස පවුලටම අයත් වන දින 5ත් 15ත් අතර බීජෞසන සමයක් ඇති ෆ්ලේවි වෛරසය මගින් ඇති වුව ද මේ තත්ත්වය බෝවන ආකාරය ඩෙංගු රෝගය බෝවන ආකාරයට වඩා වෙනස් වේ. වෛරසය ආසාදිත ඌරන්, ජලාශ්‍රිතව වෙසෙන කුරුල්ලන් දෂ්ඨ කර රුධිරය උරා බොන මදුරුවන් නැවත පැමිණ මිනිසුන් දෂ්ඨ කළ විට රෝගය බෝ වීම සිදු වේ. මේ සඳහා කියුලෙක්ස් නම් වූ මදුරු විශේෂය රෝග වාහකයා ලෙස ක්‍රියා කරයි.

මෙම ජපන් එන්සෙපලයිටීස් ෆ්ලේවී වෛරසය ආසාදනය වී රෝගී වූ මෙවැනි සතුන් වෙතින් රෝග ලක‍ෂණ පිටතට පෙන්නුම් නොකරන අතරම වෛරසය ගුණනය වෙමින් පවතී. මිනිසුන්ට මෙම රෝගය බෝ වන්නේ අහම්ඛෙනි. මිනිසෙකුගෙන් මිනිසෙකුට මේ රෝගය බෝ වන බවට මෙතෙක් වාර්තා වී නොමැත. එනම් මෙම රෝගය ඇති මිනිසෙකු දෂ්ඨ කළ මදුරුවෙක් වෙනත් මිනිසෙකු දෂ්ඨ කිරීමෙන් රෝගය බෝ නොවේ. අසාදිත සතෙකු දෂ්ඨ කළ මදුරුවෙකු මිනිසෙකු දස්ඨ කළ විට පමණක් රෝගය බොවේ.

රෝගයට ගොදුරු වන්නේ, කුඹුරු අශ්‍රිතව සහ ඒ ආශ්‍රිත දිය කඩිතිවල නිතර නිතර ගැවසෙන, ඒ ආශ්‍රිතව තම ජීවනෝපාය මාර්ගය සිදුකරගෙන යන පිරිස්ය. මොළේ උණ රෝගයට බඳුන් වූ බවට බහුලව වාර්තා වී ඇත්තේ එවැනි ස්ථානවල නිතර ගැවසෙන පිරිස්ය.

වෛරසය ශරීරගත වී මුල් අවස්ථාවේ තද උණ, වමනය, හිසේ කැක්කුම ද වෛරසය ශරීරගතවී දින කිහිපයක් ගත වූ පසු වලිප්පුව, අත් පා අප්‍රාණික බව, සිහි මුර්ජා වීම වැනි ලක‍ෂණ දැක ගත හැකිය.

මෙහි එන්නත වර්ග 2කි. එනම්,

අජීවී එන්නතතේ අතුරු ආබාධ වාර්තා වීම සහ මිල අධික නිසා 2011 වසරේ සිට චීනයේ නිපදවුණු ආරක‍ෂාකාරී සහ ක්‍රියාකාරී පටක රෝපිත ජීවී එන්නතක් SA 14 – 14 – 2 ප්‍රභේදය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරන ලදී.

වර්තමානයේදී පළමු අවුරුද්ද සම්පූර්ණ කරන ලද දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එක් මාත්‍රාවක් ලෙස රජයේ සායනවලදී මෙන්ම පෞද්ගලික රෝහල්වලදී ද ජීවී එන්නත ලබා දේ. අජීවී එන්නත දැනට ලංකාවේ භාවිත නොවේ.

ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ සඳහා එන්නත් ලබා නොගත් වැඩිහිටියන්ට රෝගය වැළදුණු බව කලාතුරකින් වාර්තා වුවද එන්නත් ලබාදුන් දරුවන්ට රෝගය වැළදුණ බවට වාර්තා නොමැත.  කලින් අජීවී එන්නතෙන් එන්නත් මාත්‍රා සම්පූර්ණ නොකළ දරුවන්ට ජීවී එන්තෙන් එක මාත්‍රාවක් ලබාගැනීම ප්‍රමාණවත්ය.

සැමවිටම ඔබත් ඔබේ දරුවාත් භයානක රෝග තත්ත්වයන්ගෙන් වැළකෙමින් නිරෝගී දිවි පෙවෙතක් ගතකිරීමට උනන්දු වන්න. ඒ සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ උපදෙස් පළපුරුදු වෛද්‍යවරයෙකු යටතේ ලබා ගැනීමට කල්පනාකාරී වන්න.

(function(w, d, e, o, a) {
w.__adroll_loaded = true;
w.adroll = w.adroll || [];
w.adroll.f = [ ‘setProperties’, ‘identify’, ‘track’ ];
var roundtripUrl = “https://s.adroll.com/j/” + adroll_adv_id
+ “/roundtrip.js”;
for (a = 0; a



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here