ඔබේ මානසික සුවය නැතිකරන නරක පුරුදු

0
14


අපි කාටවුනත් නරක පුරුදු එකක් හරි කීපයක් හරි තියෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වරූපයනෙ. මේ සමහරක් නරක පුරුදු අපිට වැඩි හානියක් නොකරනව වුනාට ඔය නරක පුරුදු අතරින් බහුතරයක් දරුණු වෙලා අපේ ශාරීරික සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යයටත් නරක විදිහෙ බලපෑම් එල්ල කරන්න පුළුවන්. 

අන්න ඒ නිසා එවැනි තත්වයකට පත්වෙන්න කලින්ම අපේ නරක පුරුදු මොනවද  කියල අවදානයෙන් ඉඳල ඒවා පාලනය කර ගැනීම අත්‍යාවශ්‍යය කාරණාවක්.

ඉතිං, ඒ සඳහා ඔබට උදව්වක් විදිහට අපේ ශාරීරික නීරෝගී බව වගේම වැදගත් මානසික සෞඛ්‍යට හානිකරන නරක පුරුදු මොනවද කියල ඔබට කියන්නයි smart lady අපි අද සූදානම් වෙන්නෙ. 

බලන්නකෝ මේ පුරුදු ඔයාටත් තියනවද කියල?

අනුන් සමඟ සැසඳීම

ඔබ කවදම හරි ඔබව වෙන කෙනෙක් එක්ක සසඳල තියෙනවද?

වෙන කෙනෙක්ගෙ රූපය, ජීවන රටාව, අධ්‍යාපනික මට්ටම, පවුල් ජීවිතය, විලාසිතා වගේ මේ ඕනෑම දෙයක් දිහා ඔබේ අවදානය යොමුවෙද්දී ඒ දේවල් අගය කරනවා වෙනුවට ඔබ නිතැතින්ම ඒ සියල්ලම ඔබත් එක්ක සසඳන්න උත්සහ කරනව නම් එය ඔබට දැඩි මානසික පීඩාවක් ගෙන දෙන බව ඔබ දැනටමත් අත්විඳල ඇති. 

සැසඳීම් වර්ග 02 ක් තියෙනව කියල හඳුනාගන්න පුළුවන්. 

පළමු වර්ගය තමයි අපිට වඩා යම් යම් සාධක වලින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් එක්ක අපිව සංසන්දනය කිරීම. මේ සංසන්දනයෙන් බොහෝවිට අපිට ලැබෙන්න පසුතැවීමක් එහෙමත් නැත්නම් දුකක්, කලකිරීමක් විතරයි.

දෙවෙනි වර්ගය තමයි අපිට වඩා යම් යම් සාධක වලින් පිටුපසින් ඉන්න කෙනෙක් එක්ක අපිව සංසන්දනය කිරීම. මේ සංසන්දනයෙන් නම් අපිට යම් සතුටක් ලැබෙනව කියල ඔබට හිතෙන්න පුළුවන්. 

නමුත්, ඔබ නොදන්න කාරණාව තමයි මතුපිටට පෙන්වන ගති ලක්ෂණ වලින් වැහිල තියන තවත් කෙනෙක්ගේ ජීවිතේ අභ්‍යන්තරය ඔබ දන්නෙ නෑ කියන දේ.  

ඒ නිසා ඔබ මේ සැසඳීමෙන් ඇත්තටම මොකද කරන්නෙ ?

ඔබ කරන්නෙ ඔබ නොදන්නා, තවත් කෙනෙක්ගේ ජිවීතේ මතුපිට එහෙමත් නැත්නම් පිටට පෙන්වන දේ ඔබ දන්නා, ඔබේ ජීවිතයේ අභ්‍යන්තරය සමඟ සසඳලා දුකක් පසුතැවීමක් කලකිරීමක් ලබා ගැනීම පමණයි. 

අපි සතුව නොමැති අන් අය සතුව ඇති දක්ෂතා, කුසලතා ගැන අවදානය යොමුකරමින් ඒවා අපි සතුව නොමැති බවට පසුතැවෙමින් ඉන්නවාට වඩා අපේ ඇති දක්ෂතා අවබෝධ කරගෙන ඒවා දිනෙන් දින වැඩි දියුණු කරගැනීම අන් අය සමඟ අපිව සැසඳීමට වඩා යහපත් බව ඔබ සිහිතබා ගත යුතුයි. 

මීට වසරකට දෙකකට පෙර සිටි ඔබ සමඟ අද සිටින ඔබව සසඳා ඔබ මුහුණදුන් අභියෝග, ඔබ ලබාගත් ජයග්‍රහණ ගැන ආඩම්බර වීමටත් ඔබව සතුටු කරන්නත් ඔබට ඔබ ගැන ආඩම්බර විය හැකි තත්වයකට දිනෙන් දින ඔබව ගොඩනැඟීමත් අතිශය වටින කාරණයක්. 

පරිපූර්ණත්වය 

වැරදි කිරීම මනුස්ස ස්වරූපය කියල කතාවක් ඔබ අහල ඇතිනේ. 

ඔබ අතින් යම් අතපසුවීම් විය හැකි බව ඔබ සිහිතබා ගත යුතුමයි. ඔබ කරන සෑම දෙයක්ම අනවශ්‍ය ලෙස පරිපූර්ණ විය යුතු නැහැ. ඔබට හැකි පමණ හොඳින් ඒවා සම්පූර්ණ කර එයින් සතුටු වීමට ඔබට හැකිවිය යුතුයි. 

වෙනත් පුද්ගලයන්ව සතුටු කිරීමට ගොස් අනවශ්‍ය මානසික පීඩාවන් ඔබ අත් කරගත යුතු නැහැ. 

ඔබට සාක්ෂාත් කරගත හැකි ඉලක්ක ගොඩනගා ගැනීම, ඔබේ වැරදීම්/ අසාර්ථක වීම් ගැන දිගින් දිගටම නොසිතා ඒව නැවත සිදුනොවීමට වඟබලා ගැනීම, ඔබේ වැරදීම් ඔබේ සංවර්ධනයට අඩිතාලම කර ගැනීම, ඔබට කල නොහැකි දේ ප්‍රතික්ෂේප කිරීම, මානසික පීඩාවන් ගෙන දෙන තැන් වලින් ඈත්වීම වගේ තීරණ ඔබ වෙනුවෙන් ඔබ ගත යුතුමයි. 

වැඩ කල් දැමීම 

බොහෝ දෙනෙක් වැඩ කල්දමා ඔවුන්ගේ යුතුකම් සහ වගකීම් මඟ හැරීම පුරුද්දක් බවට පත් කරගන්නවා ඔබ දැකල ඇති. සමහර විට ඔබත් එහෙම ඇති. ඔබත් එහෙම නම් එයින් අත්වෙන අවසාන ප්‍රතිඵලය ගැනත් ඔබට අත්දැකීම් ඇති කියල අපි හිතනවා. 

වැඩ සියල්ල ගොඩගැසී ඔබට ඒවා සම්පූර්ණ කර ගැනීමට හැකියාව, සහය හෝ කාලය නොමැතිව අනවශ්‍ය මානසික පීඩාවක් ගොඩනැඟීම ඔබේ මානසික සෞඛ්‍යයට ඉතාම අහිතකර බව අපි සඳහන් කළ යුතුමයි. 

ඒ නිසා එදිනෙදා ඔබ කළ යුතු කුඩා හෝ කටයුත්තක් අතපසු නොකර කිරීම ඉතාම වැදගත්. 

නරක දේවල් විතරයි

අනවශ්‍ය ලෙස අතීතය ගැන සිතා ඵලක් නොවන්නේ ඔබට අතීතය වෙනස් කල නොහැකි බැවිනි, අනවශ්‍ය ලෙස අනාගතය ගැන සිතා ඵලක් නොවන්නෙ ඔබට අනාගතය තීරණය කල නොහැකි බැවිනි,  මේ මොහොත සතුටින් සැහැල්ලුවෙන් ඵලදායීව ගත කිරීම පමණක් වඩා යහපත් වන්නේ එබැවිනි කියල කියමනක් ඔබ අහල ඇති. 

අතීතයේ සිදුවූ හෝ අනාගතයේ සිදුවිය හැකි යැයි සිතිය හැකි නරක දේවල් ගැනම පමණක් සිතීමෙන් ඔබව ඍණාත්මක පුද්ගලයෙක් බවට පත්වීම ඔබටත් නොදැනීම සිදුවෙන බව ඔබ සිහිතබා ගත යුතුයි. 

ඒ නිසා මලක්, සමනළයෙක්, සුළඟ මේ සියල්ලම විඳින, සැහැල්ලුවෙන් සිනාවෙන් ගත කරන ජීවිතයක්, ඔබ වෙනුවෙන් වෙන් කරන පොඩි වෙලාවක්, ඔබේ ජයග්‍රහණ සැමරීමක්, ඔබේ පරාජයන් හමුවේ අළු ගසා දමා ඉක්මන් නැඟිටීමක් සමඟ සුන්දර ධනාත්මක ජීවිතයක් ගත කිරීමට හැකි සෑම විටම ඔබ උත්සහ කළ යුතුමයි. 

ඔබ වෙනුවෙන් වෙලාවක් නැද්ද?

ඔබත් කාර්‍යාලයේ, යාළු මිත්‍රයන්, නෑදෑ හිතමිතුරන්ගේ ප්‍රශ්න වලටම මැදිවෙලා ජීවිතය ගෙවන කෙනෙක් නම් ඒවා නිසා ඔබ වෙහෙසට පත්වෙලා නම් ඔබට ඔබේ සතුට හෝ ඔබ වෙනුවෙන් පුංචි දෙයක්වත් කරන්න අමතක වෙලා නම් එයින් හැකි ඉක්මණින් මිදෙන්න කියල අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here