සමහර පිරිමින් හිතන්නේ පවුලට අවශ්‍ය දරුවන් ගණන තීරණය කිරීම තමන්ගේ අයිතියක් කියායි. විවාහයෙන් පසු සැමියාත් බිරිඳත් දෙදෙනාම එක්වී එකඟතාවයකින් ගතයුතු තීරණ සැමියා තනිව ගැනීම නිසා බොහෝ බිරින්දෑවරුන්ට සැලසුම් නොකළ ගැබ්ගැනීම්වල විත්තිකාරිය වන්නට සිදුවෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවල නීතිවිරෝධී ගබ්සාවන් කරන්නට පවා යොමුවන විවාහක කාන්තාවන් සිටිනවා. මෙය කිසිසේත්ම යහපත් තත්වයක් නොවෙයි.
ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද? කවර කාලයක එක්වීමක් එයට බලපාවිද? එවැනි ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කෙසේද? කියා බොහෝ විවාහක කාන්තාවන්ට හෝ පුරුෂයින්ට පැහැදිලි අවබෝධයක් නැති බවයි, මේ සම්බන්ධව කටයුතු කරන වෛද්‍ය උපදේශකවරුන් ඔවුන්ගේ වෘත්තීය අත්දැකීම් අනුව සඳහන් කරන්නේ.
දරුවකු බලාපොරොත්තු නො වන අවස්ථාවකදී ගත යුතු පවුල් සැලසුම් ක්‍රම රාශියක් අද වනවිට ලෝකයේ ජනප්‍රියව තිබෙනවා. පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කළත්, නිවැරැදි උපදෙස් පිළිපදිමින් ඒ ක්‍රමය භාවිත නො කිරීම හේතුවෙන් අනවශ්‍ය ගැබ්ගැනීම්වලට මුහුණ දෙන අයත් ඉන්නවා.ඇත්තට ම සමහරු භාවිත කරන්නේ තමන්ට වඩාත් ම ගැළපෙන ක්‍රම නො වෙයි.
දරුවා බිහි කිරීමට තීරණය කිරීම, මෙහිදී යුවළකට ගතහැකි හොඳම තීරණයයි. නමුත් වැඩි දෙනෙක් නීති විරෝධී ගබ්සාවන් කරන්න යොමුවන බව තමයි වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඇත්තටම මෙවැනි අනපේක්ෂිත ලෙස ඉපදෙන දරුවන්ට අනෙක් දරුවන්ට තරම් ආදරයක් මාපියන්ගෙන් නො ලැබෙන්නට වුවත් සමහරවිට ඉඩ තියෙනවා. ඒ විතරක් නොවෙයි, සූදානමක් නොමැති ගැබ් ගැනීම මවගේ කායික, මානසික සෞඛ්‍යයට ඇති කරන්නේ යහපත් බලපෑමක් නො වෙයි. පියාගේ යහපත් මානසිකත්වයට වුණත් ඉන් වන්නේ අවැඩක්මයි.
ස්වභාවික සහ සාම්ප්‍රදායික ක්‍රම මත පූර්ණ විශ්වාසය තබන්නට එපා.
කොන්ඩම් (Condom)
සාර්ථක තාවකාලික පවුල් සංවිධාන ක්රමයකි. මෙයින් සරු බවට ද බලපෑමක් සිදු නොවෙයි. නිසි අන්දමට භාවිතයෙන් 97% කට වැඩි සාර්ථක්වයක් බලාපොරොත්තු වීමට පුළුවන.
ඇති විය හැකි එකම අතුරු ආබාධය මෙය නිපදවා ඇති රබර්, ලේටෙක්ස් හෝ එහි ලිහිසි ද්‍රව්‍යවලට කලාතුරකින් කෙනකු අසාත්මික විය හැකි වීමයි. එවිට වෙනත් කොන්ඩම් වර්ගයක් තෝරා ගැනීමට පුළුවන.
දැන් වෙළඳපොළේ සතුට වැඩි කරන කොන්ඩම් ද තිබෙනවා. මේවා ගබඩා කළ යුත්තේ හිරු එළියට නිරාවරණය නො වන පරිදි සිසිල් වියළි තැනකයි. මතක තබාගන්න, ඔබ මේවා මිල දී ගැනීමට පෙර කල් ඉකුත්වන දිනය පරීක්ෂාකර බලන්න. භාවිතෙන් පසු දරුවන්ට, සතුන්ට, අනෙක් අයට අසු නොවන ලෙස වළලා දමන්න. එසේත් නැත්නම් පුළුස්සන්න අමතක කරන්නත් එපා.
හෝර්මෝන ක්‍රම
මෙයත් ගර්භණී භාවය වැළැක්වීමට යොදාගත හැකි හොඳම ක්‍රමයක්.මේ අතරින් වඩාත් ජනප්‍රිය පවුල් සැලසුම් පෙතියි.
භාවිතයට පහසුයි. නැවත ඉක්මනින් සරු භාවයට පත්විය හැකියි. උපත් පාලනයට අමතරව සැලසෙන තවත් වාසියක් තිබේ. ඒ පියයුරු ඇතුළු ප්‍රජනක පද්ධතිය ආශ්රිත පිළිකා සෑදීමේ ඉඩකඩ අවම වීමයි. ආරක්ෂාවක් සැලසීමයි.
හෝර්මෝන පෙති ඔසප් වීම ඇරැඹුණු පළමු දිනයේදීම ගැනීම වඩාත් සුදුසුයි. එසේත් නැත්නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත ගත යුතුයි.
ගැබ් ගෙන නැති බව තහවුරු කරගෙන පෙති ගැනීම ඇරැඹීමටත් පුළුවන.
පෙති ගත් පළමු දිනයේ සිට දින 7 ක් යනතුරු සම්බන්ධයකදී කොන්ඩමයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.
විවාහ වූ සැනින්ම දරුවකු පිළිසිඳ ගන්නවාට අකැමැති නම් විවාහයට මාසයකට හෝ මාස දෙකකට පෙර සිට පෙති ගන්න. දරු ප්‍රසූතියට පසු මවුකිරි දෙන මවක් නම් දරුවාට මාස හයක් පිරුණු පසු යළි පෙති ගැනීම ඇරැඹිය හැකියි. (එන්නත් ගන්නා කාන්තාවන්ට ද එන්නත් ගැනීම මෙසේම සිදු කිරීමට පුළුවන්).
උපත් පාලන හෝර්මෝන එන්නත් භාවිතකළ කාන්තාවක් හෝ ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයක් භාවිත කළ කාන්තාවක් නම් ඔසප් වීම ඇරැඹී පළමු දින පහ ඇතුළතදී පෙති ගැනීම අරඹන්න.
මෙහි සාර්ථක භාවය 99.99% ක්.
උපත් පාලන පෙති අවිවාහක තරුණියන්ට ද වෛද්‍යවරයා නිර්දේශ කරන අවස්ථා ද තිබේ.
ඒ ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය වනවා නම්, ඔසප් චක්‍රය අක්‍රමවත් නම්, ඒ කාලයේදී අධික උදර වේදනාවක් ඇති වෙනවා නම්, ඔසප් වීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් උපත් පාලන පෙති ලබා දෙයි.
ඔසප් ආසන්නයේදී ඇතිවන සාමාන්‍ය ශාරීරික අපහසුතා, කුරුලෑ හටගැනීම මේ පෙති ගැනීමේදී අඩු වේ.
උපත් පාලන පෙති ගැනීම නවත්වා මාස තුනකට පමණ පසු යළි සුපුරුදු පරිදි සරු කාලය උදා වෙයි. එනම් මාස තුනකට පමණ පසු යළි ගැබ්ගත හැකියි.
සිරුරට හානි නො වන තාවකාලික ගැටලු ඇතැම් කාන්තාවන්ට ඇති විය හැකියි. ඒවා පෙති ගැනීම අරඹා මාසයකට, දෙකකට පසුව නැති වී යයි.
ඔක්කාරය, වමනය, හිසරදය, කරකැවිල්ල, පියයුරුවල වේදනාව, ඔසප්වීම් අතරතුර මඳ වශයෙන් සිදුවන රුධිර වහනය එම අතුරු ආබාධයි.
ඔබ දැනගත යුතුම තවත් උපත් පාලන සැලසුම් ක්‍රම කිහිපයක් ගැන ඉදිරි ලිපියෙන් තොරතුරු දැනගනිමු.
Saru FM Media