ඔබටත් තියෙනවද, දන්නෙ නැතිව ම හැදෙන ලෙඩක් ?

0
10


කාන්තාවන් බොහෝ දෙනෙක් තමන්ට නොදැනීම මුහුණ දෙන රෝගී තත්වයක් ගැන ඔබ අහල තියෙනවාද? විශේෂයෙන් ම වයස අවුරුදු 20-40ත් අතර පසුවන කාන්තාවන්ට විවිධාකාරව මේ රෝගී තත්වය පෙන්නුම් කරනවා. මේ තත්වයට මුහුණදෙන කාන්තාවන්ට වැඩි වශයෙන් ම තියෙන්නේ නොරිස්සුම්සහගත ස්වභාවයක්. තමන්ට අනික් අයව නුරුස්සන්නේ ඇයි කියලවත් මෙහෙම වෙලාවට ඇයට වැටහෙන්නේ නැහැ.

ඒ වගේම සමහර කාන්තාවන්ට අධික ශෝකයක්, පාලුවක්, තනිකමක් වගේ හරියටම පැහැදිලිව විස්තර කරන්න බැරි හැඟීමක් මේ රෝගී තත්ත්වයත් එක්ක මතු වෙනවා. සමහර අයට කෑම ගැනීම පවා කරදරකාරී අත්දැකීමක් බවට පත්වෙනවා. සමහර අයට කොයිතරම් කෑවත් බඩගින්න අඩු නොවෙන ගතියකුත් දැනෙන්න ගන්නවා. මේ රෝග තත්වය ඇතිවුණාම සමහරුන්ට නින්ද යන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි, ගෙදර නින්ද යන අනෙක් අය ගැන දැඩි තරහක් පවා ඇති කරගන්නවා. ඒත් සමහර කාන්තාවන් මේ රෝගී තත්වය නිසා අධිකව නින්ද ප්‍රිය කරනවා. සියලු කටයුතුවලට, ඒ කියන්නේ නෑම මුහුණ සේදීම වගේ අත්‍යවශ්‍ය කටයුතුවලට පවා  උදාසීන ගතියක් ඇතිවෙනවා. හේතුවක් නැතිව ම තමන්ට දුක හිතිලා සමහර වෙලාවට අඩන එකත් මේ රෝගී තත්වයට මුහුණ දෙන තරුණියන්ගෙ ස්වභාවයක්. ඇත්තට ම මේ තත්වය ශරීරයේ මතුවන රෝගයක් නොවන බවත්, එය යම් කිසි කාලයකට සීමා වන තත්වයක් පමණක් බවත් තරුණියන් හැටියට ඔබ දැනුවත්ව සිටිය යුතුයි.

ඔබ මේ ගැන සියුම් ව නිරීක්ෂණය කළොත් මේ තත්වය ඇතිවන්නේ මාසයේ කිසියම් වකවානුවක දී පමණක් බවත් ඔබට අවබෝධ වේවි. ඔබ මේ රෝගී ස්වභායන්ගෙන් යම් කිසි ලක්ෂණයකට හෝ මුහුණ දෙනවා නම් එය ඇතිවන කාලවකවානු කැලැන්ඩරයක හෝ දිනපොතක මාසිකව සටහන් කරගෙන බලන්න. සෑම මසක ම ඔබේ ඔසප් වීමේ දිනයට සතියකට හෝ දෙකකට පෙර සිට මේ තත්වය ඇතිවන බව ඔබට ම තහවුරු වේවි. මේ තත්වයට වෛද්‍ය විද්‍යාත්මක හේතු මොනවාද? ඒ සඳහා කළ හැකි පිළියම් මොනවාද? විශේෂයෙන් ම ඇය වටා සිටින අය මෙහි දී කටයුතු කරන්න ඕනේ කොයිවිදියට ද කියන කරුණු ඇත්තට ම ඉතා වැදගත්.

දැනටමත් ඔබ දන්නා පරිදි  හන්දිපත් වේදනාව, හිසේ කැක්කුම,  කැරකිල්ල, වෙහෙසකාරීබව, අධික පිපාසය, බඩ පිපුණුගතිය, බඩේ කැක්කුම, ඔක්කාරයට එන ස්වභාවය, පියයුරුවල සහ පියයුරු තුඩුවල වේදනාකාරීබව, කුරුලෑ මතුවීම, මලබද්ධය, බඩ බුරුල්කර යෑම, ශරීරයේ බර වැඩිකම, අත්පා පණ නැතිගතිය, මාසික ඔසප්වීම්වලට පෙර ඔබට දැනී ඇති. එක් එක් කාන්තාවන්ගේ ශරීර ස්වභාවයන් අනුව මේ රෝග ලක්ෂණ දැනෙන මට්ටම අඩු වැඩි වෙන්නට ඉඩ තිබෙනවා. සමහර යුවතියන්ට මේ කවරාකාරයේ හෝ රෝග ලක්ෂණයක් මතු නොවී නිරායාසයෙන් ම ඔසප්වීම සිදුවන්නටත් ඉඩ තිබෙනවා. කොහොමවුණත් කාන්තාවක් මාසයකට වරක් මුහුණ දෙන මේ තත්වය ගැන ඇය වගේම නිවැසියන් හැම දෙනාමත් හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි. මාසික ඔසප්වීමට පෙර මේ රෝගී තත්වයන් ඇතිවීම ස්වභාවිකයි. එය බෙහෙත්වලින් පාලනය කරන්නට උත්සාහ දැරීම එතරම් ප්‍රතිඵලදායී නැහැ. ඔසප් වී අවසන් වූ පසු මේ තත්වය ද කෙමෙන් පහව යනවා. නැවතත් සුපුරුදු කාර්යශූරබව ඔබට ඉන්පසු ළඟා කරගත හැකියි. එහෙත් මේ තත්වයට හොඳින් මුහුණ දෙන්නට ඔබට සහ ඔබේ නිවැසියන්ට අනුගමනය කළ හැකි පිළියම් කිහිපයක් තිබෙනවා.

කාන්තාවක් හැටියට ඔබේ ශරීරයේ සිදුවන වෙනස්කම් හමුවේ මතුවන මෙවැනි තත්වයන් ශක්තිමත්ව දරාගැනීමේ හැකියාව ඇත්තටම ඔබ වැඩිදියුණු කරගත යුතුයි. ස්මාර්ට් ලේඩි කෙනෙක් හැටියට ඔබට ඒ ශක්තිය ළඟාකරගන්න කොහොමටත් බැරිවෙන්න බෑ.

 – නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here