බ්‍රසීලය සහ කොලොම්බියාව වැනි ලතින් ඇමෙරිකානු රටවල ඉතාම භයානක චාරිත්‍රයක් තිබේ. ඒ රටවල ආණ්ඩුවේ නිලධාරියකුගෙන් වැඩක් කර ගැනීමට ගිය මිනිහකුට ඒ නිලධාරියා වැඩේ කර නොදුන්නොත් වැඩේ කර ගැනීමට පැමිණි මිනිහා කෙළින්ම ගෙදර ගොස් පිස්තෝලයක් රැගෙනවිත් නිලධාරියාට වෙඩි තබයි. බ්‍රසීලය සහ කොලොම්බියාව වැනි රටවල කුඩු මුදලාලිලා බහුල ය. මේ මුදලාලිලා සමග ජනතාවට ලොකු සම්බන්ධයක් තිබේ. මිනිසුන්ගේ හදිසි ඕනෑ එපාකම් බලන්නේ මේ මුදලාලිලා විසිනි. එසේම සාමාන්‍ය කෙනකුට අසාධාරණයක් වුණොත් කුඩු මුදලාලිලා එයට විරුද්ධව කෙළින්ම වැඩට බසිති. කුඩු මුදලාලිලාට ඒ රටේ ආණ්ඩු සමග ලොකු සම්බන්ධයක් තිබේ. බ්‍රසීලයේ සාවෝ පාවුලෝ අගනුවර මෙන්ම කොලොම්බියාවේ බොගෝටා අගනුවර ද පාලනය කරන්නේ කුඩු ජාවාරම්කාරයන් සහ ආණ්ඩුවේ නිලධාරීන් හවුලේ ය. ඒ නිසා නාඳුනන තුවක්කුකරුවකු වෙතින් පමණක් නොව දන්නා හඳුනන තුවක්කුකරුවන් වෙතිනුත් ආණ්ඩුවේ නිලධාරීන් ඝාතනය වීම ඉතාම සරල සිද්ධියකි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නමැති අය පෙරේදා උදේ සිය කාර්යාලයේ නිල අසුන මතදීම වෙඩිතබා මරණ ලදී. පිස්තෝලකරුවකු කිසිදු කලබලයක් නැතිව ඔහුගේ නිල කාමරයට පැමිණ වෙඩි තබන හැටිත්, ඉන් පසු එම පිස්තෝලකරුවා තවත් පුද්ගලයකුගේ මෝටර් සයිකලයේ නැගී පලාගිය අයුරුත් සී.සී.ටී.වී. කැමරාවල සඳහන් වී ඇත. මීට සති කිහිපයකට පෙර දවසේ වෙඩිල්ල නමැති සංකල්පයක් මේ රටේ තිබිණ. එහෙත් දවසේ වෙඩිල්ල හදිසියේම නැවතුණේ ය. ඒ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසත්, ඉෂාරා සෙව්වන්දිත් පිටරට දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනඒමෙන් පසුව ය. ඒ නිසා දවසේ වෙඩිල්ල පිටුපස කෙහෙල්බද්දර පද්මේලා සිටින බව සියලු දෙනාම කල්පනා කළහ. එහෙත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ මරණයෙන් පෙනී යන්නේ කෙහෙල්බද්දර පද්මේගේ කණ්ඩායම පමණක් නොව තවත් පාතාල කණ්ඩායම් ගණනාවක්ම මේ රටේ ක්‍රියාත්මක වන බව ය. මේ මරණය ආරංචි වූ සැනින් ඒ මොහොතේ දී පාර්ලිමේන්තුවේ සිටි මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජේපාල කියා සිටියේ මිදිගම ලසාට විරුද්ධව නඩු හයක් තිබෙන බවත්, ඔහු මේ දක්වා සිටියේ අත්හිටුවූ සිරදඬුවම් මත බවත් ය. මේ කියමන කොතරම් දුරට යුක්තිසහගත ද යන්න අපි නොදනිමු. මිදිගම ලසා පාතාලකාරයකු බවට චෝදනා මිස ඒ සම්බන්ධයෙන් ඔප්පු වූ නඩු නැත. ඔහු අත්හිටුවූ සිරදඬුවම් මත එළියේ සිටියා නම් ඒ නඩුව ද ඉතා බරපතළ නඩුවක් නොවේ. සාපරාධී ක්‍රියාවලට වැරදිකරුවන් වන අයට අත්හිටුවූ සිරදඬුවම් දෙනු නොලැබේ.
ලංකාව සාපරාධී රාජ්‍යයක් බවට පත්වීම විශාල ඛේදවාචකයකි. මේ සාපරාධී රාජ්‍යය තුළ ගැහැනු පිරිමි දෙගොල්ලොම මිනී මරති. තවමත් මිනී මැරීමට “යකඩ කෑල්ලක්” අතට නොගත්තේ පාසල් දරුවන් පමණි. මේ තත්ත්වය දරුණු වීමට පෙර දැඩි ලෙස මර්දනය කිරීම ආණ්ඩුවේ වගකීමක් වේ. ආණ්ඩුව අපරාධ මර්දනය සඳහා මොනදේ කළත් කවුරුත් එයට විරුද්ධවන්නේ නැත. එබැවින් අපරාධ මර්දනය සඳහා, අපරාධකරුවන්ගේ මිනිස් අයිතිවාසිකම් කොපමණ කැඩුණත් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතුම ය. මිදිගම ලසා අපරාධ කර ඇත්නම් ඔහුට දඬුවම් ලැබිය යුත්තේ උසාවියෙනි.
කාගෙන් හෝ ගාණක් කපාගත් කොන්ත්‍රාත් මිනීමරු මදාවිකාරයකු අතින් ඔහු මිය යා නොයුතු ය. මාකඳුරේ මධුෂ් පවා මිය යා යුතුව තිබුණේ සාහසිකයන් අතින් නොව උසාවි තීන්දුවකට අනුව අලුගෝසුවා වෙතිනි. මේ රටේ මිනීමරුවන් එල්ලා නොමැරීම බරපතළ තත්ත්වයක් බවට පත්ව තිබේ. සියදෙනකු මැරුවත් තමන් එල්ලුම්ගස් නොයන බව අපරාධකරු දනී. ඔහු සිය සිර ජීවිත කාලය යහපත් සේ ගතකළොත් පොදු සමාවක් ලැබ පිටතට පැමිණීමට ද ඉඩකඩ ඇත.
වැලිගම යනු ඉතාම සංවේදී ප්‍රාදේශීය සභාවක් තිබූ පළාතකි. රාජපක්‍ෂ යුගයේ දී මේ ප්‍රාදේශීය සභාව ඉතාම දූෂිත විය. වැලිගම පළාතේ හෝටල් හිමියන්ට බාර් ලයිසන් දීම සඳහා පහසුකම් සැපැයූ ලොක්කෙක් එකල මේ ප්‍රාදේශීය සභාවේ සිටියේ ය. ලයිසමක් ගැනීමට හෝටල්කාරයකු ආ විට මේ ලොක්කා ප්‍රාදේශීය සභාවේ කටයුතුවලට පුටු 100 ක් හෝ 200 ක් මිලට ගෙන දෙන ලෙස එම හෝටල්කාරයාට කියයි. බැලූ බැල්මට මෙය පොදු වැඩකි. ඒ නිසා හෝටල්කාරයා මේ පුටු තොගය ප්‍රාදේශීය සභාවට ගෙනගොස් බායි. එවිට ඔහුට බාර් ලයිසම ද දෙනු ලැබේ. ඉන් පසු ප්‍රාදේශීය සභා ලොක්කා අර පුටු 100 ට හෝ 200 ට හොර බිලක් සාදා එම පුටු තමාගේ මුදලින් ගෙනා බව සභාවට පෙන්වා මුදල් ගනු ලැබේ. මෙවැනි හොරු දකුණු පළාතේ ප්‍රාදේශීය සභා බොහොමයක සිටිති. මිදිගම ලසාගේ පෞද්ගලික චරිතය ගැන අපට අවබෝධයක් නැත. ඔහු හොරෙක් ද මිනීමරුවෙක් ද යන්න අපි නොදනිමු. කෙසේ වුවද ඔහු ප්‍රාදේශීය සභාවේ ආසනයකට තේරී පත්වුණේ මහජන ඡන්දයෙනි. මේ සභාවේ බලය ලබාගැනීමට මාලිමාවට බැරි විය. අන්තිමේ දී එහි සභාපති වන්නේ සමගි ජන බලවේගයේ ලසන්ත වික්‍රමසේකර ය. මේ අනුව මේ මරණය සම්බන්ධයෙන් සැකසංකා බොහොමයක් නිර්මාණය වී තිබේ. ඒ සැකසංකා සියල්ල ඉවත් කර සිය දෑත පිරිසිදු කර ගැනීම ආණ්ඩුවේ යුතුකම ය. එසේම ලසන්ත වික්‍රමසේකරගේ ඝාතකයා ද ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය ද වහා අත්අඩංගුවට ගත යුතු ය. මෙවැනි අයගෙන් සත්‍ය හෙළිදරව් කිරීමට රහස් පොලිසියට විශේෂ හැකියාවක් තිබේ.
Saru FM Media










