ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු වන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන, අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැදවා තිබේ.
ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුව හේතුවෙන් රජයට වූ සමස්ත පාඩුව ඩොලර් මිලියන 400ක් බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇම.ති අනුර කරුණාතිලක, 2025 නොවැම්බර් මස 25 වන දා, පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර තිබිණි.
එම පාඩුව ගණන් බලා ඇත්තේ, දූෂිත එයාර් බස් ගනුදෙනුව අවලංගු කිරීම සදහා අදාල සමාගමට ගෙවීමට සිදු වූ ඩොලර් මිලියන 115ක දඩු මුදලත් සමගයි.
ඊට අමතරව, වෙළද පොල මිලට වඩා ඩොලර් මිලියන පනහක් පමණ වැඩි මුදලකට ගුවන් යානා දෙකක් මිල දී ගැනීමද ලංකා රජය විසින් සිදු කර තිබුණි.
මෙම දූෂිත ගනුදෙනුව වෙනුවෙන්, අදාල ගුවන් සමාගම ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක්, කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිදට ලබා දීමට නියමිතව තිබී ඇති අතර, එම මුදලෙන් ඩොලර් මිලියන දෙකක මුදලක් ඔවුන් විසින් ලබාගෙන ඇති බවද වාර්තා විය.
ප‍්‍රංශ එයාර්බස් සමාගම විසින් ශ‍්‍රී ලන්කන් ගුවන්සේවයේ හිටපු ප‍්‍රධානියෙකුගේ බිරිඳක් අල්ලස් ගෙවීමේ කටයුත්තක් වෙනුවෙන් කුලියට ගෙන තිබේ. මේ සඳහා ඇය ව්‍යාපාරික හවුල්කාරියක ලෙස යොදා ගනු ලැබ ඇති අතර අල්ලස් දීම සඳහා උපයෝගී කර ගනු ලැබ ඇත්තේ ඇය විසින් බෲනායිහි ලියාපදිංචි කරන ලද ව්‍යාජ සමාගමකි. ශ‍්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය විසින් ප‍්‍රංශ එයර්බස් මිලදී ගැනීම තහවුරු කර ගැනීම වෙනුවෙන් ප‍්‍රංශ එයාර්බස් සමාගම එ.ජ. ඩොලර් මිලියන 16.84ක් (රු. බිලියන 03ක්) ගෙවීමට පොරොන්දු වී ඇති අතර එයින් ඩොලර් මිලියන 2ක් (රු.මිලියන 362ක්) මෙම සමාගම වෙත එවා තිබේ.
හිටපු ශ‍්‍රීලන්කන් ප‍්‍රධානියා මේ පිළිබඳවගනුදෙනු කිරීම සඳහා සහ එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමට හිලව් වශයෙන් ඩොලර් මිලියන 02ක මුදල දැනුම්දීම සඳහා (2013 නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී) ඔහුගේ පෞද්ගලික ජීමේල් ලිපිනය පාවිච්චි කර ඇත.
රටවල් 20ක කොන්ත‍්‍රාත් ලබාගැනීම වෙනුවෙන් දැවැන්ත අල්ලස් පිරිනැමූ බව පිළිගැනීමෙන් පසු දඬුවම් වශයෙන් පවුම් බිලියන 3ක වාර්තාගත දඩ මුදලක් එයාර්බස් සමාගම වෙත නියම වී ඇත. එම රටවලින් එකක් වනුයේ ශ‍්‍රී ලංකාවයි. ඒ, 2012 සහ 2013 වසරවල A 330 යානා 06ක් සහ A 350යානා 04ක් මිලට ගැනීමටත් තවත් යානා 04ක් කල් බදු ක‍්‍රමයට ලබාගැනීමටත් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සමග එකඟ වූ ගනුදෙනුවලට අනුවය.
මෙම කොන්ත‍්‍රාත් මතභේදාත්මක බව බොහෝ කලකට පෙර ලංකාවේදී ඔප්පු වී තිබුණද මේ පිළිබඳ පරීක්ෂණවලදී කිසිවෙකු වරදකරුවෙකු කිරීමට හෝ අවම වශයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරුණේ නැත.
එයාර්බස් සමාගම විසින් අල්ලස් ගෙවා ඇති බවත් ශ‍්‍රීලන්කන් ගුවන් සේවයේ ප‍්‍රධානියෙකුගේ බිරිඳක් වන නම් සඳහන් නොවන කාන්තාවකට එම මුදල් ලැබී ඇති බවත් එංගලන්තයේ මහාධිකරණයේදී සැකයෙන් තොරව අනාවරණය වී තිබේ.
මෙම කාන්තාව 2012 ඔක්තෝබර් 05 වැනි දින ව්‍යාජ සමාගම ලියාපදිංචි කරනු ලබයි. එම සමාගමේ එකම කොටස් හිමිකාරිය හා අධ්‍යක්ෂවරිය ඇයය. අධිකරණයේ ලේඛන ප‍්‍රකාශ කරන්නේ මෙම සමාගමට “ගුවන්යානා අලෙවි ක්ෂේත‍්‍රයේ කිසිදු අත්දැකීමක් හෝ පෞද්ගලික සේවා පලපුරුද්දක් නොමැති” බවය. එහෙත් එම සමාගමට “ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් 10ක් මිලට ගැනීම සහ තවත් 04ක් කල්බදු ක‍්‍රමයට සැපයීම පිළිබඳව බලපෑම් කිරීම” පැවරී තිබූ බව එහි වැඩිදුරටත් සඳහන්ය.
එයාර්බස් සමාගමේ පැරීසිය පදනම් කරගත් අලෙවි අංශයක් වන එයාර්බස් SMO අංශයේ මෙම ව්‍යාජ සමාගම සඳහන් වන්නේ ‘එයාර්බස් සේවක 8’ ලෙසය. එයාර්බස් සමාගමේ අල්ලස් ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කරන ලද්දේ මෙම අංශය මගිනි. එය විසින් ප‍්‍රශ්නගත ව්‍යාජ සමාගම පත්කරගන්නා ලද්දේ එම අංශයේ කාර්යමණ්ඩලය විසින්ද එය ගැටලුකාරී බව ප‍්‍රකාශ කරන ලද තත්වයක් යටතේය.
2013 මාර්තු මාසයේදී එයාර්බස් සමාගම මෙම කාන්තාව ව්‍යාපාර උපදේශිකාවක් ලෙස පත්කරන ලද්දේ ඇයට ගුවන්යානා සම්බන්ධ කිසිදු විශේෂඥ දැනුමක් නොමැතිව තිබියෙදීය. ඇගේ අනන්‍යතාව සඟවාලීම සඳහා එයාර්බස් කාර්යමණ්ඩලය ඇගේ නමත් ස්ත‍්‍රී පුරුෂභාවයත් හෙළිදරව් නොකර එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව පවා නොමඟ යවා තිබිණි.
ඉන් දින කිහිපයකට පසු එයාර්බස් සමාගම සහ ව්‍යාජ සමාගම ‘උපදේශන ගිවිසුමකට’ එළඹෙන්නේ A 330 යානා 06ක් සහ A 350යානා 04ක් විකිණීම සහ තවත් අතිරේකව A 350යානයක් කල් බදු ක‍්‍රමයට ලබාදීම වෙනුවෙනි.
ගිවිසුම අනුව ශ‍්‍රීලන්කන් විසින් මිලට ගන්නා සෑම A 330 යානාවක්සැපයීමකට පසුව කාන්තාවගේ සමාගමට ඩොලර් මිලියන 01 බැගින්ද A 350යානාවක් සැපයීමකට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද ගෙවීමට නියමිත විය. ඊට අමතරව කල්බදු ක‍්‍රමයට ගන්නා A 350 යානාවක් වෙනුවෙන් ඩොලර් 300,000 බැගින් ගෙවනු ඇත. (කෙසේ වුවද මුළු මුදලෙන් ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 02ක් පමණි)
එයාර්බස් විසින් කාන්තාවගේ සමාගම සමග වෙළඳපොළ පංගුව පිළිබඳ තවත් ගිවිසුමක් අත්සන් කර තිබිණි. එයින් කියවුණේ 2015 ඔක්තෝබර් 30 වන තෙක් ශ‍්‍රීලන්කන් ගුවන්සේවය විසින් තමන්ගේ (එයාර්බස්) තරගකරුවෙකුගේ යානාවක් මිලදී නොගත්තේ නම්, එනම් එම දිනය දක්වා ශ‍්‍රීලන්කන් විසින් එයාර්බස් පමණක් මිලට ගන්නා බවට සහතික වන්නේනම්, කාන්තාවගේ සමාගමට අතිරේක ඩොලර් මිලියන 05ක මුදලක් ලැබෙනු ඇති බවටය.
2013ජුනි 19 වැනි දින, එනම් කාන්තාවගේ සමාගම සමග ගිවිසුමෙන් මාස 03කට පසු, පැරිස් ගුවන්යානා ප‍්‍රදර්ශනයේදී ශ‍්‍රීලන්කන් සමාගම A 330 යානා 06ක් ඇණවුම් කළේය. මේ යානා සපයන ලදී. ඉන් දින 09කට පසු, එනම් ජුනි 28, ශ‍්‍රීලන්කන් මිලදී ගැනීමේ දෙවැනි ගිවිසුමට අනුව A 350යානා හතරක් මිලදී ගැනීමේ ඇනවුම ලබාදුන්නේය. මෙම යානා සපයනු ලැබුවේ නැත.
එදින මාධ්‍ය නිවේදන කියා සිටියේ ශ‍්‍රීලන්කන් මිලදී ගැනීම ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුක්ත වූ බවය. 2013 ජුනි 18 දින එයාර්බස් විසින් අන්තර්ජාලලයට මුදාහරින ලද ප‍්‍රවර්ධන වීඩියෝවක පැරිස් ගුවන්යානා ප‍්‍රදර්ශනයට පැමිණ සිටින එවකට ශ‍්‍රීලන්කන්හි ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන කියා සිටින්නේ ජාතික ගුවන්සේවය ක‍්‍රියාත්මක වන්නේ තනිකරම A 340ල A 330ල A 321සහ A 320 වර්ගයේ එයාර්බස් සංචිතයකින් බවයි.
”අපට මෙහෙයුම් කාර්යමණ්ඩලයේදී, විශේෂයෙන් තාක්ෂණ කාර්යමණ්ඩලයේදී පොදුභාවයක් ලැබී තිබෙනවා. එය අපට වාසියක්. ගුවන්යානා කාර්යමණ්ඩලයට පවා එක් වර්ගයක සිට තවත් වර්ගයකට මාරු වීමේදී පහසුවක්. එහිදී අපට නැවතත් තරගකාරී වාසියක් ලැබෙනවා.” ඔහු කැමරාවට කියා සිටියි.
”ගුවන්යානා වර්ගයට අමතරව. අපි වඩාත්ම අගය කරන්නේ සමාගමෙන් ලැබෙන සහයෝගයයි. මොකද මෙය සංකීර්ණ මෙහෙයුමක්. තාක්ෂණික වශයෙන්, නඩත්තුවලින් හා සියලු පැතිවලින් එයාර්බස් සමාගමෙන් ලැබෙන සහයෝගය අතිශය වැදගත්. මේ දක්වා අපි එයාර්බස් සමාගම ගැන තෘප්තිමත්. අපේ බැඳීම වසර 20ක් ඉතිහාසයට දිවයනවා. අපි වසර 12ක් පුරා 320 හා 330 පාවිච්චි කරනවා. එය හොඳින් ක‍්‍රියාත්මකයි. ඒ වගේම වැඩිදියුණු කළ හැකියි.
මම හිතන්නේ අපට තවත් වසර 20ක් එයාර්බස් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන් වේවි.”
මෙම වීඩියෝ පටයේ තේමාව වන්නේ, ”ශ‍්‍රීලන්කන් ගුවන්සේවය: තනිකරම එයාර්බස් සංචිතයක්” යන්නය.
ශ‍්‍රීලන්කන් විසින් මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් මාස 02කට පසු බෲනායි ලියාපදිංචි සමාගම ඩොලර් මිලියන 01ක ඉන්වොයිස් පත‍්‍රයක් ඉදිරිපත් කරන ලදී.
එහෙත් එයාර්බස් විසින් ගෙවීම් කරනු ලබන්නේ යුරෝ මුදලින් පමණක් වන බැවින් එම සමාගමට ගෙවීම ලබාගැනීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ යුරෝ ගිණුමක් ඇරඹිය යුතු විය.
මේ මොහොතේදී බිරිඳ විසින් සමාගම පිහිට වූ ශ‍්‍රී ලන්කන් ප්‍රධානියා එයාර්බස් සමග තමන්ගේම ගිණුමින් සන්නිවේදනය කිරීම ඇරඹීය. තමන්ගේ පෞද්ගලික ජීමේල් ගිණුමින් ඔහු යුරෝ ගිණුමක් ඇරඹීමට පොරොන්දු විය. 2013 නොවැම්බර් 13 ප‍්‍රධානියාම – ඔහුගේ බිරිඳ නොවේ – නව ගිණුම් විස්තර සඳහන් නව ඉන්වොයිස් පත‍්‍රයක් එයාර්බස් සමාගම වෙත යැවීය.
2013 දෙසැම්බර් 02 වැනි දින එම ප‍්‍රධානියාම අමතර ඩොලර් මිලියනයක් ඉල්ලා යැවූ දෙවැනි ඉන්වොයිස් පත‍්‍රය සමාගම වෙත ලැබිණි. එයාර්බස් SMO අංශයේ ”එයාර්බස් සේවක 1” සහ ”එයාර්බස් සේවක 9” විසින් ගෙවීම අනුමත කරන ලදුව 2013 දෙසැම්බර් 27 ඩොලර් මිලියන 02ක් යුරෝ මුදලින් ප‍්‍රධානියාගේ බිරිඳගේ සමාගමට ගෙවනු ලැබිණි.
මේ අල්ලස් ගනුදෙනුව අනාවරණය වූයේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් මිලදී ගැනීමේ ගිවිසුමට සම්බන්ධ නියෝජිතයෙකු හෝ උපදේශකවරයෙකු ඇත්නම් හෙළිදරව් කරන ලෙස නියෝග කළ අවස්ථාවේය. ඒ, A 330 යානා 04කට අදාළව අපනයන මූල්‍ය සම්පාදනය කර දෙන ලෙස එයාර්බස් සමාගමේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.
එයාර්බස් සමාගම හඟවා තිබුණේ ඔවුන් ශ‍්‍රීලන්කන් ගනුදෙනුවේදී ඒජන්තවරයෙකු යොදා ගෙන ඇති බවත් ඊට අදාළ ගෙවීම් කිරීම සඳහා තමන් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවේ ”විශේෂ මෙහෙයුම් ක‍්‍රියාවලියක්” අපේක්ෂා කරන බවය. එහි තේරුම අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුට පමණක් ඒජන්තවරයාගේ විස්තර අනාවරණය කිරීම විය. 2015 පෙබරවාරියේදී ඔවුහු එසේ කළහ.
එහෙත් මෙම විස්තරවලදී ඒජන්තවරයා හඳුන්වන ලද්දේ ”ඔහු” ලෙසය. මෙය ව්‍යාජ තොරතුරු දැක්වීමක් වූ බව අධිකරණ ලියකියවිලි ප‍්‍රකාශ කරයි. එසේම එයාර්බස් සමාගම උපදේශන ගිවිසුමට අනුව තමන් සම්පූර්ණයෙන් කොපමණ මුදලක් ගෙවන්නේද යන්න පිළිබඳ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අතර වෙළඳපොළ පංගුව පිළිබඳ ගිවිසුමේ කොමිස් මුදලද අනාවරණය නොකළේය.
අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව සපයන ලද තොරතුරු සම්බන්ධයෙන් තෘප්තිමත් නොවූ අතර ප‍්‍රශ්න නැගීය. ඒ ප‍්‍රශ්න අතර ජීවදත්ත පත‍්‍රිකාවේ ඔවුන්ට ගුවන්සේවා ක්ෂේත‍්‍රයේ අත්දැකීම් මද බව කියා තිබියෙදී එම සමාගම සේවයට බඳවා ගත්තේ ඇයිද යන්නත් එම ඒජන්තවරයාගේ පදිංචිය ශ‍්‍රී ලංකාවෙන් පිටත ඇත්තේ සහ ඒ වෙතට (බෲනායි) ගෙවීම් සිදුවන්නේ ඇයිද යන්නත් විය.
2015 පෙබරවාරියේ එයාර්බස් පිළිතුරු සැපයූ අතර ඒජන්තවරයා ”ඔහු” සහ ”ඇය” දෙයාකාරයෙන්ම හඳුන්වා දී තිබූ අතර වෙළඳපොළ පංගුව පිළිබඳ ගිවිසුම පිළිබඳව කිසිදු සඳහනක් නොකර තිබූ ඔවුන් කාන්තාවකගේ සමාගමකට එයර්බස් සමාගමෙන් ගෙවීමක් නොකළ බවද අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව කරන ලද විමසීමට පිළිතුරු ලෙස පැවසූහ.
අනතුරුව අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව එයාර්බස් සමාගමෙන් ඉල්ලා සිටියේ ”ඔවුන්ගේ ඒජන්තවරයා ශ‍්‍රීලන්කන් ප‍්‍රධානි 1ගේ බිරිඳ නොවන බව තහවුරු කරන” ලෙසයි. පිළිතුරු ලෙස එයාර්බස් සමාගම අවධාරණය කළේ ”තම ඒජන්තවරයා ශ‍්‍රීලන්කන් ප‍්‍රධානි 1ගේ බිරිඳ නොවන” බවයි. එසේම ”ඒජන්තවරයාට ශ‍්‍රීලන්කන් සමග කිසිදු සබඳතාවයක් නොමැති” බවයි.
2015 මාර්තුවේ එයාර්බස් සමාගම එක්සත් රාධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් අපනයන මූල්‍ය පහසුකම් ඉල්ලීමේ අයදුම්පත ඉල්ලා අස්කර ගත්තේය. එහෙත් 2016 අප්‍රේල් මාසයේදී අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව මෙම තොරතුරුත් එයාර්බස් විසින් ලබාදෙන ලද තවත් තොරතුරුත් එක්සත් රාජධානියේ බරපතළ චංචා විමර්ශන කාර්යාලයට බාරදුන්නේය.
2020.02.02 සන්ඩේ ටයිම්ස් වාර්තාවේ පරිවර්තනයයි
0
Saru News
















