එයාර් බස් ගනුදෙනුවෙන් ලැබුණු අල්ලස් මුදලින්, 2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් මිලියන 60ක මුදලක් අවස්ථා තුනකදී ලබා දුන් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇතැයි, අල්ලස් කොමිසම විසින් අද (19) අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයට අනුව ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර එහිදී දිවුරම් ප්‍රකාශයේ සඳහන් නම් අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෙලිඅත්ත නිවසේදීත් කාල්ටත් නිවසේදීත් රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක්, එයා බස් ගනුදෙනුවෙන් ලබා ගත් අල්ලස් මුදලින් බලා දී ඇති බවත් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම හිටපු ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නට මුදල් ලබා දී ඇති බවත් හිටපු කථානායක රාජපක්ෂගේ පුත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටද යොමුවී ඇති බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ.
එමෙන්ම මෙම නඩුවේ සැකකරුවන් ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ නියොමාලි විජේනායක නම් කර තිබේ.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අප්‍රේල් 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
1
Saru News
















