පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් අනතුරින් මියගිය ගුවන් මගීන් සිවු දෙනෙකුගේ පවුල්වල සමාජිකයින් විසින් බෝයිං සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.
බෝයිං සමාගමට මෙන්ම ගුවන් යානා කොටස් නිෂ්පාදිත සමාගමක් වන හනීවෙල් සමාගමට එරෙහිව ද ඔවුන් මෙම නඩුව ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිට ලන්ඩන්හි ගැට්වික් ගුවන් තොටුපොළ බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් සමාගමේ මගී ගුවන් යානයක් ගුවන් ගත කර සුළු වේලාවකින් කඩා වැටී අනතුරට ලක්විය.
එහිදී යානයේ සිටි එක් මගියෙකු හැරුණු විට එහි සිටි සියළුම මගීන් හා කාර්යමණ්ඩලය මෙන්ම යානය කඩා වැටුණු ප්‍රදේශයේ රැදී සිටි පුද්ගලයින් ඇතුළු 260කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ යානයේ හටගත් දෝශයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව පවසමින් එම යානය නිෂ්පාදිත සමාගම වන බෝයිං සමාගමට සහ ගුවන් යානා අමතර කොටස් නිෂ්පාදන සමාගමක් වන හනීවෙල් සමාගමට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති බවය.
Saru FM Media