ඉකුත් පාලන සමයේ රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කරමින් සිදු කළ පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබේ.
ඒ, අදළ සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණය හමුවේ ගොනු කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.
පොලිසිය පැවසුවේ, අධිකරණ නියෝග මත දැනට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බවයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාශය විසින් අදාළ ගනුදෙනුවට අදාළව එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ නවීන් ධනේෂ් නැමැති පුද්ගලයෙකු නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම විසින් නීති විරෝධි ලෙස රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
Saru FM Media