එක දවසක්වත් පාසල් නොගිය දරුවන් 74ක් වනාතේ වත්තක

0
1

බුද්ධ ශාසන, සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය රණසිංහ

“බොරැල්ල, වනාතමුල්ලේ වත්තක එක දවසක්වත් පාසල් නොගිය දරුවන් 74 දෙනෙක් ඉන්නවා. ඒ වත්තේ නිරීක්ෂණ චාරිකාවකට ගිය වෙලාවේ මේ බව අනාවරණය වුණා..,” යැයි ලෝක ළමා දිනය යෙදුණු ඊයේ (01දා) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංස්කෘතික ප්‍රවර්ධන) ඊ. එච්. ඒ. එච්. පී. රණසිංහ මහතා පැවසීය.

“ලෝක ළමා දිනය” නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම සංවේදී කතාව අනාවරණය කළේය.

තවදුරටත් කතා කළ ආචාර්ය රණසිංහ මහතා මෙසේද කීය.

“එක දවසක්වත් පාසල් නොගිය මේ දරුවන් අවුරුදු 5-16 වයසේ පසු වෙනවා. අපි වනාතමුල්ලේ නිරීක්ෂණයකට ගිය වෙලාවේ මේ දරුවන් ගැන දැන ගත්තා. අපි ඔවුන්ට චිත්‍ර අඳින කොළ හා පැස්ටල් දීලා චිත්‍ර අඳින්න දුන්නා. හරි ලස්සනට ඔවුන් චිත්‍ර ඇන්දා. අපි ඒ දරුවන්ව කෞතුකාගාරය බලන්න රැගෙන ගියා. බොහොම සංවේදී කතාවක් මේක. මේක කවුරුත් නොදැකපු කතාවක්. අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්චා කරලා මේ දරුවන්ව පාසල් අධ්‍යාපනය සඳහා යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. යහපත් අනාගත සංස්කෘතියක් ගොඩනැඟීම අපේ අරමුණයි.

මේ අතර දිවයින පුරා දරුවන් නවදහස් එකසිය අනූඑක් දෙනකු (9191) පරිවාස භාරයේ සිටින බව ලෝක ළමා දිනය යෙදුණු ඊයේ (01දා) පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (පාලන) නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය පැවසුවාය.

දෙමාපියන්ගේ රැකවරණය අහිමිවීම, අපයෝජනයට ලක්වීම, සොරකම් සිද්ධීන් ඇතුළු තවත් කරුණුවලට අදාළව ඔවුන් පරිවාස භාරයේ සිටින බවද මෙහිදී ඇය අනාවරණය කළාය.

මින් දරුවන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බවත් ඇය සඳහන් කළාය.

“ලෝක ළමා දිනය” නිමිත්තෙන් ඊයේ කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙම කරුණු ඇය හෙළි කළාය.

ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කරගෙන වීදි දරුවන් හා අනාථ දරුවන් ඒකරාශී කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.

මධ්‍යම රජය යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන නොමැති අතර එම දරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ද නොමැති බවද කියා සිටි ඇය පළාත් පාලන කොමසාරිස්වරයාට මේ පිළිබඳ නීතිමය බලයක් නොමැති බවද පැවසුවාය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර ඖෂධ අධ්‍යාපන හා තොරතුරු නිලධාරි මහේෂි මධුවන්ති මහත්මිය.

“පාසල් කේන්ද්‍රකර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් අනුකමිටු පිහිටුවා තිබුණත් සමහර පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් මේ ගැන සොයාබැලීම ඉතාම අඩුයි. මේ ගැන දැනුවත් කරන්න නිවාරණ නිලධාරීන් ඉන්නෙත් 22 යි. උතුරු නැඟෙනහිර පළාත තුළ ඉන්නේ නිලධාරීන් එක්කෙනයි. සමහර විදුහල්පතිවරුන්ගෙන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් මේ සඳහා සහාය ලැබෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් අනුකමිටු තිබුණත් ඒවායේ පසුවිපරමක් නැහැ.

මෙහිදී මුල් ළමාවිය ජාතික ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්. ඒ. ටී. එස්. වාරියප්පෙරුම, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛi විශේෂඥ රංජිත් බටුවන්තුඩාවේ යන මතත්වරුන් ද කතා කළහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඒමන්ති මාරඹේ සහ සුජාතා ජයරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here