එක්දින තරගාවලියක් අපටත් ලැබෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අපේ බලාපොරොත්තුව

0
4

ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස අප මෙතෙක් කතා කරමින් සිටිය ද, කාන්තාවන් ද, කරට කර සටනකට සූදානම්ය. ඒ ලොව පුරා සිටිනා කාන්තා ක්‍රීඩිකාවන් සමගය. කාන්තාවන් අතර ලොව පළමු ක්‍රිකට් තරගය වර්ෂ 1745 ජූලි 26 වන දින The Reading Mercury හිදී, බ්‍රැමිලි හි සහ හැම්බ්ල්ඩන් හි දෙපිරිසක් අතර ඇරඹුණු බවට ඉතිහාසගතය. පළමු කාන්තා ක්‍රිකට් සමාජය වන “වයිට් හෙදර්” සමාජය 1887 දී යෝක්ෂයර් හිදී පිහිටුවනු ලැබීය. වර්ෂ 1958 දී ලොව පුරා කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණය කිරීම සඳහා ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලය (WCC) පිහිටුවන ලදී. 2005 දී එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග ඒකාබද්ධ විය. මේ වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවත් ලෝකයේ ක්‍රීඩා ලෝලීන්ගේ ජනාදරයට පත්ව තිබේ. කාන්තා එක්දින ලෝක කුසලාන පළමු තරගාවලිය 1973 දී, එංගලන්තයේ පවත්වා ඇත. එම එක්දින තරගාවලි විකාශය වූයේ සහ අවසන් තරගයන් ජයග්‍රහණය කරනු ලැබුවේ මෙලෙසිනි.

★ 1973 – එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේදී (එංගලන්තය ජයග්‍රහණය කර ඇත.)

★ 1978 – ඕස්ට්‍රේලියාව හා එංගලන්තය ඉන්දියාවේදී (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර ඇත.)

★ 1982 – ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර නවසීලන්තයේදී (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර ඇත.)

★ 1988 – ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඕස්ට්‍රේලියාවේදී (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර ඇත.)

★ 1993 – එංගලන්තය හා නවසීලන්තය අතර එංගලන්තයේදී (එංගලන්තය ජයග්‍රහණය කර ඇත.)

★ 1997 – නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ඉන්දියාවේදී (නවසීලන්තය ජයග්‍රහණය කර ඇත.)

★ 2000 – නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර නවසීලන්තයේදී (නවසීලන්තය ජයග්‍රහණය කර ඇත.)

★ 2005 – ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර දකුණු අප්‍රිකාවේදී (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර ඇත.)

★ 2009 – එංගලන්තය හා නවසීලන්තය අතර ඕස්ට්‍රේලියාවේදී (එංගලන්තය ජයග්‍රහණය කර ඇත.)

★ 2013 – ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර ඉන්දියාවේදී (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර ඇත.)

★ 2017 – එංගලන්තය හා ඉන්දියාව එංගලන්තයේදී (එංගලන්තය ජයග්‍රහණය කර ඇත.)

★ 2022 – ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර නවසීලන්තයේදී (ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර ඇත.)

ශ්‍රී ලංකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පකිස්ථානය, බංගලිදේශය යන රටවල් අතර පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 30 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේදී පැවැත්වේ. කාන්තා ක්‍රිකට් 20 විස්ස ලෝක කුසලාන තරගාවලියක් 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී පැවත්වුණ ද, කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන එක්දින තරගාවලියක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වීම සුවිශේෂී කරුණක් වන අතර, මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇතැයි යන්න සුවහසක් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ එකම පැතුමයි… එම බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවෙයි…..

චමෝත් හංසන සෙනෙවිරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here