Tuesday, May 20, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් එකවර පැකට් විශාල වශයෙන් මිලට අරං ලුණු හිඟ වුණා – කර්මාන්ත ඇමති

එකවර පැකට් විශාල වශයෙන් මිලට අරං ලුණු හිඟ වුණා – කර්මාන්ත ඇමති

0
3


salt-issue-sunil-handunneththi

 ස්වභාවික මෝසම් රටාවට අනුව ලංකාවේ ලුණු ලේවායන්ට එකවර වැසි නොලැබෙන නමුත්, කාලගුණික වෙනස්වීම් හේතුවෙන් අලිමංකඩ, හම්බන්තොට සහ පුත්තලම යන ප්‍රධාන ලුණු ලේවායන්ට හදිසියේ වැසි පතිත වීම නිසා රටේ ලුණු නිෂ්පාදනය අනපේක්ෂිත ලෙස අඩු වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (මැයි 19) පුත්තලම ලුණු සංස්ථාවට ගොස් ලුණු හිඟය පිළිබඳව සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

“මෝසම් ස්වභාවය අනුව අපේ ලුණු ලේවායන්ට එකවර වැසි නොලැබෙන්න ඕනෑ. නමුත් දැන් කාලගුණික වෙනස්වීම් නිසා අලිමංකඩ, හම්බන්තොට සහ පුත්තලම ලුණු ලේවායන්ට එකවර වැසි පතිත වීම නිසා ලුණු නිෂ්පාදනය අඩු වුණා. මේක ස්වභාවික සාධක මත සිදු වූ දෙයක්. සේවකයින්ට හෝ ආණ්ඩුවට මේක වෙනස් කරන්න බැහැ. ඒ නිසා තමයි ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළේ,” යැයි හඳුන්නෙත්ති මහතා පැවසීය.



ඔහු වැඩිදුරටත් පැවසූයේ ලංකාවේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයෙන් ලුණු මිලදී ගැනීමට කටයුතු කළද, ඉන්දියා-පාකිස්තාන ආරවුල හේතුවෙන් ගුජරාට් වරාය වසා දැමීම නිසා ලුණු ආනයන ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බවයි.
අමාත්‍යවරයා අවධාරණය කළේ වෙළඳපොළේ ලුණු හිඟයක් ඇති වූයේ ලුණු හිඟයක් සිදුවිය හැකි බවට වූ සන්නිවේදනයත් සමඟ පාරිභෝගිකයින් දෛනික පරිභෝජන සීමාව ඉක්මවා එකවර ලුණු පැකට් විශාල සංඛ්‍යාවක් මිලදී ගැනීම නිසා බවයි.

“කලපුවෙන් ජලය ලෙස ලබා ගන්නා ලුණු සාන්ද්‍රණය මාස හතර හමාරක ස්වභාවික ක්‍රියාවලියකින් පසුව, සේවකයින් යොදාගෙන තවත් මාස තුනක පිරිපහදු කිරීමකින් අනතුරුව පරිභෝජනයට සුදුසු තත්ත්වයට පත්වන්නේ සම්පූර්ණ මාස හත හමාරක කාලයක් ගත වීමෙන් පසුවයි,” යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය දිගුකාලීන ස්වභාවික ක්‍රියාවලියක් වන බැවින්, මෑතකදී ඇතිවූ විශේෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවූ හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය පියවර ගෙන ඇති බවත්,


නමුත් ලුණු ආනයන ප්‍රමාදය හේතුවෙන් වෙළඳපොළේ තාවකාලික අඩුවක් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පුත්තලම ලුණු සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් පෙන්වා දුන්නේ, ස්වභාවික ලුණු නිෂ්පාදන ක්‍රියාවලියේ සංකීර්ණ බව සහ එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයයි. අනපේක්ෂිත දේශගුණික වෙනස්කම් හේතුවෙන් ලුණු නිෂ්පාදනයේ අඩුවීම ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව ඔවුන් අවධාරණය කළහ.
ලුණු හිඟය විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා බවත්, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විකල්ප ක්‍රමවේද සොයා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, ලුණු නිෂ්පාදනය ස්වභාවික සාධක මත රඳා පවතින බැවින්, ඉදිරි කාලයේදී මෙවැනි තත්ත්වයන් අවම කිරීමට දිගුකාලීන සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here