එංගලන්තය වාර්තා පොත් අලුත් කරයි

0
6

පිල් සාල්ට් ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්

අන්තර්ජාතික විස්සයි – 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින්ද, තෙවැනියට වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රණය කළ තරගය ලෙසින්ද, ජාත්‍යන්තර විස්සයි – 20 තරගයකදී වැඩිම ලකුණු ලබාගත් 7 වැනි ක්‍රීඩකයා බිහිකරමින්ද සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි -20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 146ක ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

(12දා) මෙන්චෙස්ටර් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 304ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වූ අතර, ලකුණු 305ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 16.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 158ක් පමණි.

වාර්තා පොත් අලුත් කළ තරගයක් වූ මෙහිදී එංගලන්ත ඉනිමේ පන්දු වාර 10ක් අවසාන වන විට 1 කඩුල්ලක් දැවී ලකුණු 166ක් රැස් කළ අතර එය පිරිමි විස්සයි-20 තරගයකදී ඕනෑම කණ්ඩායමක් විසින් රැස් කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය. මෙම වාර්තාවට හිමිකම් කියන තුර්කිය බල්ගේරියාවට එරෙහිව එක් කඩුල්ලකට ලකුණු 167ක් ලබා තිබිණි.

එංගලන්තය පවර්ප්ලේ අවස්ථාවේ කිසිවකු නොදැවී ලබාගත් ලකුණු 100, පිරිමි විස්සයි 20 තරගයේදී එංගලන්තය ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත්විණි.

තවද විස්සයි-20 තරගයකදී පන්දු 20ක් හෝ ඊට අඩුවෙන් අර්ධ ශතක රැස් කළ දෙවන ආරම්භක යුගලය වීමටද සෝල්ට් ට සහ ජොස් බට්ලර් ට අවස්ථාව ලැබිණි. එහි පළමු වාර්තාවට හිමිකම් කියන්නේ රුමේනියාවේ තරංජීත් සිං සහ රමේෂ් සතීසන් වේ.

මෙම තරගයේදී කාගිසෝ රබාඩා පන්දු වාර හතරේදී ලකුණු 70ක් ලබා දුන් අතර එය දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙකු පිරිමි විස්සයි – 20 තරගයකදී ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාවයි. 2015 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කයිල් ඇබට් ලබාදුන් ලකුණු 68 මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාව විය. තවද විස්සයි-20 තරගයකදී පන්දු යවන්නෙකු ලබා දුන් පස්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ද රබාඩා සතුවිය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පිල් සාල්ට් පන්දු 60කින් ලකුණු 141ක් ලබාගැනීමට සමත්වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 15ක් ඇතුළත්විය. ඊට අමතරව ජොස් බට්ලර් ලකුණු 83ක් සහ හැරී බෲක් නොදැවී ලකුණු 41ක් ලැබීය.

පන්දු යැවීමේදී බිජරෝන් ෆෝටුවන් ලකුණු 52කට කඩුලු 2ක් දවාලීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ඒඩ්න් මාක්‍රම් ලකුණු 41ක්, බිජරෝන් ෆෝටුවන් 32ක්, ඩොනොවන් ෆෙරේරා 23ක් සහ ටී්‍රස්ටන් ස්ටැබ්ෂ් ලකුණු 23ක් ලැබීය.

පන්දු යැවීමේදී ජොෆ්ර ආචර් ලකුණු 25කට කඩුලු 3ක්, සෑම් කරන්, විල් ජැක්ස් සහ ලිආම් ඩොව්සන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තරගයේ වීරයා ලෙස පිල් සාල්ට් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here