ඌ මහත්තයා වත්මන් ආණ්ඩුව ගැන කරුණු රැසක් හෙළි කරයි – Saru News | සිංහල

0
10

පොදු ජනතාව නගාසිටුවීම සඳහා ආණ්ඩුව හඳුන්වා දී තිබෙන ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය විශිෂ්ඨ ක්‍රියාමාර්ගයක් බව ඌ මහත්තයා කරුණු සහිතව පෙන්වා දෙයි.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ 1971 අරගලයේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරිකයෙකු වී සිටි අතර, එවක දී ඔහුව හඳුන්වා ඇත්තේ “ඌ මහත්තයා” යනුවෙනි. ඔහු සිළුමිණ පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දියත් කර ඇති ‘ප්‍රජා ශක්ති – දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය‘ ආණ්ඩුවේ විවේචකයන්ගේ අවධානයට යොමු වී තිබේ. ඔවුන් එම වැඩපිළිවෙළ දකින්නේ නිශේධනීය දෘෂ්ටිකෝණයෙනි. එහෙත් එම වැඩපිළිවෙළ ගැන සාධනීය දෘෂ්ටිකෝණයකින් බැලීමට ද විශාල ඉඩක් තිබේ. මෙම ලිපියෙන් මා කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දෘෂ්ටිකෝණයෙන් එම වැඩපිළිවෙළ දෙස බලමින්, ප්‍රජාතන්ත්‍රවාදය බිම් මට්ටමින්, එනම් ප්‍රජාවගේ සහ පුරවැසියන්ගේ මට්ටමින්, ගැඹුරු සහ ශක්තිමත් කිරීමට එය සතු ශක්‍යතාව හඳුනාගැනීමයි.

ප්‍රජා ශක්ති වැඩසටහනේ මූළික අරමුණ වන්නේ, 2030 වසර වන විට, සෑම ආකාරයකම දරිද්‍රතාව තුරන් කිරීම සඳහා අප රටේ මීට පෙර පැවැති ආණ්ඩු ද , දැනට බලයේ සිටින ජාජබ ආණ්ඩුව ද සිදු කර ඇති කැපවීම අලුතින් ක්‍රියාවට නැංවීමය. ඒ සඳහා මීට පෙර ආණ්ඩු ක්‍රියාත්මක නොකළ ආකාරයේ නව වැඩපිළිවෙළක් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ජාජබ ආණ්ඩුව විසින් දියත් කරන ලදි. එම වැඩසටහන ‘ප්‍රජා ශක්ති‘ යනුවෙන් නම් කර තිබෙන්නේ එක් වැදගත් හේතුවක් නිසා බව පෙනේ. එය නම් මෙම වැඩසටහන මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එකක් වුවත්, එය බිම් මට්ටමේදී ක්‍රියාත්මක වෙද්දී, බිම් මට්ටමේ ජීවත් වන, දරිද්‍රතාවට ගොදුරු වී එයින් ගොඩ ඒමේ අපේක්ෂාවෙන් සිටින පුරවැසියන් ද, ඔවුන්ගෙන් සමන්විත ප්‍රජාව ද එම ක්‍රියාවලියේ සක්‍රීය පාර්ශ්වකරුවන් බවට පත්කිරීමයි. එම අර්ථයෙන් බලන විට, ප්‍රජා ශක්ති වැඩසටහන වනාහී පුරවැසි/ප්‍රජා සහභාගිත්වය තුළින් ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇති සහභාගිත්ව සංවර්ධන සහ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රයත්නයකි. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රජාතන්ත්‍රවාදී හරය තිබෙන්නේ ‘පුරවැසි සහභාගිත්වය‘ යන පදවලය. මෙම කරුණ ගැන අපි ඊළඟට සාකච්ඡා කරමු.

සහභාගිත්ව සංවර්ධනයේ අවශ්‍යතාව

‘සහභාගිත්ව සංවර්ධනය‘ (Participatory Development) යන සංකල්පය 1980 ගණන්වල කාලයේ ලෝකයේ, විශේෂයෙන් ගෝලීය දකුණේ, සංවර්ධනය වන රටවල ව්‍යාප්ත වූ අදහසකි. ඒ වෙතින් යෝජනා වූයේ, ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සහ ප්‍රතිලාභ ආර්ථික සහ සමාජීය වශයෙන් දුබල සමාජ කණ්ඩායම් වෙතට අර්ථවත් ලෙස ළඟාවන්නට නම්, එම ප්‍රජාවන් සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීය ලෙස සහභාගි කරවා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. සාම්ප්‍රදායික සංවර්ධන සහ දරිද්‍රතාවයට විසඳුම් සැපයීමේ ප්‍රවේශවල ප්‍රධාන ලක්ෂණය වූයේ, මධ්‍යම ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද ව්‍යාපෘති දේශපාලනඥයයින් සහ නිලධාරීන් විසින් උඩ සිට පහළට ක්‍රියාත්මක කරනු ලැබීමයි. ඒවායේ ප්‍රතිලාභ ලැබිය යුතු ප්‍රජාවට වෙන්කර තිබුණේ, එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ස්වල්පයක්, නිහඬව සිටගෙන ලැබෙන තුරු බලා සිටීමයි. එවැනි ව්‍යාපෘති දේශපාලන සහ නිලධාරිවාදී දූෂණය නිසා අසාර්ථක වීමට හේතුව වූයේද, මෙම ඉහළ සිට පහළට සංවර්ධනය සිදුකිරීම යන වැරදි ප්‍රවේශයයි.

‘සහභාගිත්ව සංවර්ධනයේ‘ සහ ‘සහභාගිත්ව දුගීකම තුරන් කිරීමේ‘ ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණය නම්, සංවර්ධන ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ ලැබිය යුතු බිම් මට්ටමේ ප්‍රජාව එම ක්‍රියාවලියේ සක්‍රීය පාර්ශ්වකරුවන් බවට පත්කිරීමයි. 1990 දශකයේදී මේ පිළිබඳ ප්‍රමුඛතම නිදසුන් දෙකක් වූයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවැති වාමාංශික ප්‍රාන්ත ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ සහභාගිත්ව සහ විමධ්‍යගත සංවර්ධන ප්‍රයත්නය සහ බ්‍රසීලයේ පෝර්තෝ අලිග්‍රේ (Porto Alegre) නගරයේ සහභාගිත්ව සංවර්ධන ප්‍රයත්නයයි. මේ අත්දැකීම් දෙකම ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති වැඩසටහනට සමානය. එබැවින් ඒවා ගැන කෙටියෙන් හඳුනාගැනීම, අප රටේ දුගී බව තුරන් කිරීමේ වර්තමාන ප්‍රජා සහභාගිත්ව ක්‍රියාවලියේ වැදගත්කම අවබෝධ කර ගැනීමට අපට ආධාරකාරී වනු ඇත.

කේරළයේ විමධ්‍යගත සංවර්ධන මාදිලියේ ලංකාවටද අදාළ වන ලක්ෂණ කිහිපයක් තිබිණි. ග්‍රාමීය මටිටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්, විමධ්‍යගත සැලසුම්කරණ මූලධර්මය යටතේ ගම් මට්ටමින්ම සිදුකිරීම පළමුවැන්නයි. එය සිදුකරන ලද්දේ ගම් මට්ටමේ පංචයාත් සභා සහ පළාත් පාලන සභා මාර්ගයෙනි. පංචයාත් සභා යනු ඉන්දියාවේ පළාත් පාලන ක්‍රමයේ ඇති, ඡන්දයෙන් තෝරාගන්නා සභිකයන්ගෙන් සමන්විත පහළම ඒකකයයි. තමන්ගේ ගමට ගැළපෙන සහ අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම, නිසි ලෙස ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුපරීක්ෂණ කාර්යය කිරීම එම සභාවලට භාර දී තිබිණි. එහි අරමුණ වූයේ, ඉහළ සිට පහළට සිදු වන සංවර්ධන ව්‍යාපෘති වෙනුවට, ගම් මට්ටමේ ඇති මහජන සභා සහ ජනතාවගේ සෘජු සහභාගිත්වය ඇතිව සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කර, ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රාන්ත ආණ්ඩුවෙන් සැපයිණි. සංවර්ධනය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම එහි අරමුණයි.

එහි දෙවැනි ලක්ෂණය වූයේ , සංවර්ධන සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා මොනිටර් කිරීම සඳහා කුටුම්භ ස්ත්‍රී සංවිධාන ජාලය ඇති කිරීමයි. ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියේ සක්‍රීය පාර්ශ්වකරුවන් ලෙස කාන්තාවන් සහභාගි කර ගැනීම එහි අරමුණයි. එය ද සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ලක්ෂණයකි.

තුන්වැනි ලක්ෂණය, ආර්ථික සංවර්ධනයට සමාන්තරව ගිය සමාජ සංවර්ධන වැඩපිළිවෙළයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, මහාමාර්ග, ගමනාගමනය යනාදී සමාජීය අංශවල වර්ධනය ආර්ථික සංවර්ධනය සමග සම්බන්ධ කරමින්, ආර්ථික දරිද්‍රතාව සහ සමාජීය දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය සහතික කිරීම එහි අරමුණ විය. ඒ හා සම්බන්ධ අනෙක් ලක්ෂණය වූයේ, සංවර්ධන ක්‍රියාවලියෙන් පෙරදී බැහැර කරනු ලැබූ අන්ත දරිද්‍රතාවට පත්ව සිටි මෙන්ම පීඩිත කුල, වාර්ගික සහ ගෝත්‍රික ප්‍රජාව විමධ්‍යගත සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවන් සහ ප්‍රතිලාභ ලබන්නන් බවට පත්කිරීමයි. ලංකාවේ ප්‍රජා ශක්ති වැඩසටහනේ ඇති සියලුදෙනා ම ඇතුළත් කරගැනීමේ මූලධර්මයෙන් මෙම ලක්ෂණය අවධාරණය වේ. ලංකාවේ ද, අන්රටවල ද දරිද්‍රතාවයේ ඇති එක් සමාජීය ලක්ෂණයක් නම්, සමාජයෙන් කොන්කරනු ලැබූ පුරවැසි පවුල්වලට දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන්වල විශේෂ අවධානය හිමිවිය යුතුය යන්නයි.

බ්‍රසීලයේ පෝර්තෝ ඇලිග්‍රේ නගරයේ 1990 සිට ක්‍රියාත්මක කරන ලද ‘සහභාගිත්ව අයවැය සකස් කිරීම සහ වියදම් කිරීම‘ නම් වූ වැඩපිළිවෙළ ද , නාගරික ආණ්ඩුකරණයට සෘජු මහජන සහභාගිත්වය සහතික කළ එකකි. එය ක්‍රියාවට නගන ලද්දේ නගර සභා පාලනයට ඡන්දයෙන් පත් වූ ‘කම්කරුවන්ගේ පක්ෂය ‘ විසිනි. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය පිළිබඳ එම අත්හදා බැලීමෙන් සිදු වූයේ, නගර සභාවේ වාර්ෂික අයවැය ලේඛනය සකස් කිරීම සහ වියදම් ප්‍රමුඛතා තීරණය කිරීම, පුරවැසි සභාවල සෘජු සහභාගිත්වය තුළින් තීරණය කිරීමයි. එය මගින් තවත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ කාර්යයක් සිදු විය. එය නම්, මහ නගර සභාවේ මූල්‍ය පරිපාලනය සහ මුදල් වෙන්කිරීම ඉහළ සිට පහළට සිදු වීම අත්හිටුවීමත්, නිලධාරිවාදී සහ දේශපාලන දූෂණයට ඇති අවකාශය අහෝසි කිරීමත්ය. මූල්‍ය කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රීයකරණයට ගොනුකරන ලද්දේ, අසල්වැසි කවුන්සිලවලට රැස්වී, සාකච්ඡා කර, විවෘත ක්‍රියාවලියක් තුළින් තීරණ ගැනීමේ බලය ලබාදීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීමේ එක් පියවරක් වන්නේ, සැලසුම්කරණය හා මූල්‍ය පාලනය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සහ බලය, බිම් මට්ටමේ පුරවැසි හෝ ප්‍රජා සභාවලට ලබාදීමය යන්න මෙම අත්දැකීමෙන් ලංකාවේ අපට ලබාගත හැකි වැදගත් පාඩමකි.

‘ප්‍රජා ශක්ති‘ ව්‍යාපාරය සහ ගැඹුරු ප්‍රජාතන්ත්‍රීයකරණ විභවතා

ඉහතදී අප හඳුනාගත් ඉන්දියාවේ හා බ්‍රසීලයේ අත්දැකීම් දෙකෙන්ම, ලංකාවටද අදාළ කරමින්, අපට උඝත හැකි පාඩමක් නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම යන ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් ආණ්ඩුකරණය, සංවර්ධන ප්‍රමුඛතා, සමාජ සංවර්ධනය සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රතිපාදන සඳහා තීන්දු ගැනීමේ බලය බිම් මට්ටමේ ක්‍රියාත්මක වන ප්‍රජා කමිටු නැතහොත් ප්‍රජා කවුන්සිලවලට ලබාදීමයි. එය ග්‍රාමීය මට්ටමෙන් පුරවැසියන් සවිබල ගැන්වීමකි. මෙය අප රටේ ජාතික හා ප්‍රාදේශීය මෙන්ම ග්‍රාමීය මට්ටමෙන්ද පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති එක් බරපතළ අඩුවක් පිරවීමක්ද වෙයි. එය නම්, ඡන්දය ප්‍රකාශ කිරීම හැර අන් ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන්ගේ වගකීමත් පුරවැසියන්ට ලබා නොදීමයි. පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා ඇති නියෝජන සභාවලට නියෝජිතයන් පත්කිරීමට ඡන්දය ප්‍රකාශ කෙරෙන්නේද වර්ෂ හතරකට හෝ පහකට වරක් පමණි. දේශපාලන න්‍යායයෙන් කියන පරිදි මෙම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් බිහිවන්නේ ‘නිෂ්ක්‍රීය පුරවැසියන්‘ය. ඊට වෙනස්ම, ඉහත අප දුටු ආකාරයේ ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී මාදිලියේ‘ අරමුණ සහ වැදගත් කාර්යය වන්නේ ‘නිෂ්ක්‍රීය‘ පුරවැසියන් ‘සක්‍රීය‘ පුරවැසියන් බවට පත්කිරීමයි. පුරවැසියන් සම්බන්ධව තිබෙන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා ජයගැනීමයි. ප්‍රජා ශක්ති ව්‍යාපාරය දෙස අපට බැලිය හැකි එක් ආකාරයක් නම් ලංකාවේ පුරවැසි ප්‍රජාව, විශේෂයෙන් ආර්ථික හා සාමාජීය වශයෙන් දුබල ජනතාව, සක්‍රීය පුරවැසියන් බවට පරිවර්තනය කිරීමේ ශක්‍යතාව එයට තිබෙන බව පිළිගැනීමයි.

දිළිඳු බව තුරන් කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුව විසින් සකසා ඇති ජාතික ප්‍රතිපත්තියට මගපෙන්වන මූලධර්මයක් ලෙස අදාළ චක්‍රෙල්ඛනයේ සඳහන් වන්නේ ‘සහභාගිත්ව ප්‍රවේශය‘යි. සමාජ සහයෝගිතාව, සමාජ බලගැන්වීම, සමාජ සාධාරණත්වය, කිසිවකු අත්නොහැරීම සහ සෑමදෙනාම ඇතුළත් කරගැනීම එම වැඩපිළිවෙළෙහි අනෙකුත් මූලධර්මයි. මෙම මූලධර්මවලින් ප්‍රකාශ වන වැදගත් දෙයක් වන්නේ, පවත්නා සමාජ, දේශපාලන හා ආර්ථක ක්‍රමය තුළ බැහැර කරනු ලැබ ඇති පුරවැසි කොටස්වලට දුගී බව තුරන් කිරීමේ ක්‍රියාවලියේ පාර්ශ්වකරුවන් බවට පත්කිරීමට ඇති අභිලාෂයයි. එය එම ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික වන අතරම, ග්‍රාමීය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියද සක්‍රීය වශයෙන් සමාජීය වශයෙන් සාකල්‍යවාදී දැක්මකි. ග්‍රාමීය සමාජයේ දේශපාලනය සහ බලසම්බන්ධතා පිළිබඳව අපට නිරතුරුව කළ හැකි නිරීක්ෂණයක් නම්, එම බලය ගමෙහි ඉඩම් හිමි හෝ ධන හිමි සුළුතරයක් අතර කේන්ද්‍රගත වී ඇත යන්නයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන ආයතනයක් වන පළාත් පාලන ව්‍යූහයට අයත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්ද මෙම නිරීක්ෂණය කළ හැකිය. ‘ප්‍රජා ශක්ති‘ වැඩසටහන නිසිපරිදි ක්‍රියාත්මක වී සමාජය තුළ මුල්බැස ගතහොත්, එහි අනිවාර්ය සමාජ හා දේශපාලන ප්‍රතිඵලය වනු ඇත්තේ, ග්‍රාමීය සමාජයේ බල ව්‍යූහයේ ප්‍රභූ ආධිපත්‍යය දෙදරා යාමයි. දුගී සහ සාමාන්‍ය ජනතාව බල සහිත කරන, විකල්ප බල ව්‍යූහයන් ගම් මට්ටමෙන් බිහිවීමයි. ‘ප්‍රජා ශක්ති‘ වනාහී අප රටේ සෑම දිස්ත්‍රික්කයකම ‘ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය‘ බිහිකිරීම සඳහා මගපාදන මැදිහත්වීමක් වන්නේ නම්, අප පුදුම විය යුතු නැත. එය බිම් සහ ගම් මට්ටමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නව ප්‍රාණයක්ද, නව ස්වරූපයක්ද ලබාදීමට සමත් වනු ඇත. මන්ද යත්, ගමේ බල ව්‍යූහය ඇති-හැකි සුළුතරයෙන් නැති-බැරි සුළුතරයට මාරුවීමේ හැකියාව එහි තිබෙන නිසාය.

‘ප්‍රජා ශක්ති‘ පිළිබඳ චක්‍රෙල්ඛනයේ තවදුරටත් ප්‍රකාශ වන පරිදි, දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහජන කේන්ද්‍රීය සංවිධාන ව්‍යූහයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ග්‍රාමීය මට්ටමෙන් සංවර්ධන යෝජනා සකස් කෙරෙන බව ප්‍රකාශ වන්නේ මහජන සහභාගිත්වය තුළිනි. මෙය බිම් මට්ටමෙන් සිදුවන ‘ප්‍රජා සහභාගිත්ව සැලසුම්කරණය‘ ලෙස හැඳින්විය හැකිය. සංවර්ධන යෝජනා හඳුනාගනු ලැබෙන්නේ ජනතාව පෙළගැස්වීමෙනි. ‘ප්‍රජා සංවර්ධන සභාව‘ මෙම ක්‍රියාවලිය තුළ තිබෙන වැදගත් ආයතනයකි. එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාව විසින්ම ය. සංවර්ධන යෝජනා හඳුනා ගැනීම, ඒවා ප්‍රමුඛතාගත කිරීම සහ ක්‍රියාත්කමක කිරීමේදී අධීක්ෂණය කිරීම මෛ ප්‍රජා සංවර්ධන සභාවල වගකීමයි.

ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කිරීමට

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති තවත් අඩුපාඩුවක් වන්නේ මහජන නියෝජන ආයතන වශයෙන් පළාත් පාලන ආයතන සතු කාර්යය සිදුකිරීමට ඒවාට ඉඩ නොලැබීමයි. මූල්‍ය සම්පත් හිඟකම, නිලධාරි අකාර්යක්ෂමතාව, මහජන නියෝජිතයන්ගේ උකටලී බව සහ දේශපාලන මෙන්ම නිලධාරි දූෂණය ඒ තත්ත්වයට තුඩු දී ඇති සාධකයි. න්‍යායික වශයෙන් බලන්නේ නම්, මධ්‍යම රජයට වඩා ජනතාවට කිට්ටුවෙන් තිබෙන්නේ පළාත් පාලන ආයතනයි. පුරවැසියන්ගේ දෛනික ජීවිතයට ඒවායින් සිදුවන්නේ වැදගත් වැඩ කොටසකි. එහෙත් ආයතනික බිඳවැටීමේ ඉරණමට පත්වී තිබෙන හෙයින්, පළාත් පාලන ආයතනවලට නව ජීවයක් ලැබිය යුතුව තිබේ. බිම් මට්ටමෙන් ප්‍රජාව බලමුළුගන්වන ප්‍රජා ශක්ති ව්‍යාපාරය හා පළාත් පාලන ආයතන අතර, විශේෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ ප්‍රජා ශක්ති කමිටු අතර සම්බන්ධයක් ගොඩනැගීම ඒ සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් පත්වී ඇති නියෝජිතයන්, ග්‍රාමීය මට්ටමේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රජා සංවර්ධන සභා අතර සංවාදයක් සහ සහයෝගිතාව ගොඩනැගීම, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ නව ප්‍රජා ශක්ති ප්‍රයත්නය ග්‍රාමීය මට්ටමෙන් පුළුල් දේශපාලන සහභාගිත්වය තහවුරු වීමට දායකවීමට ඇති ඉඩකඩ බොහෝය.

මේ අතර, ලංකාවේ ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ඉතා වැදගත් සහ තවමත් නොසලකා හරිනු ලැබීමට ලක්වී ඇති සංවිධාන ව්‍යූහයක් නම් ස්වේච්ඡා පුරවැසි සංවිධානයි. ආණ්ඩුවෙන් සිදු නොවන බොහෝ සුභ සාධන වැඩ සහ අසරණ ජනතාවට සරණ වීම මරණාධාර සමිතු ඇතුළු මෙවැනි පුරවැසි සමිති ඒවා වෙතින් සිදු වේ. බිම් මට්ටමේ පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයේ මූලධර්ම සහ ආචාරධර්ම ගැන මුල් පාඩම් ලැබෙන්නේ එම ස්වේච්ඡා පුරවැසි සංවිධානවල සාමාජිකත්වය සහ තනතුරු මාර්ගයෙනි. ‘පරාර්ථය‘ සිය ආදර්ශ පාඨය කරගත් එම ස්වේච්ඡා සංවිධාන, දිළිඳකම නැති කිරීමට ග්‍රාමීය මට්ටමෙන් ප්‍රයෝජනවත් වන වැඩසටහන් හඳුනා ගැනීමට, සැලසුම් සකස් කිරීමට සහ පුරවැසියන් මෙහෙයවීමට හවුල් කර ගත හැකි වනු ඇත. එවිට ප්‍රජා සංවර්ධන සභාවලට ගමේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රීය සංවිධාන සමග ඓන්ද්‍රීය සම්බන්ධයක්ද ගොඩනගා ගත හැකි වනු ඇත. ප්‍රජා සංවර්ධන සභා ග්‍රාමීය සමාජය තුළ හුදෙකලා නොවීමටද එම සම්බන්ධතා ආධාරකාරී වනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ, ගිය වසරේ දියත් කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේත්, දරිද්‍රතාව අවසන් කිරීම ඉලක්ක කරගත් ප්‍රජා සංවර්ධන න්‍යාය පත්‍රයේත් ඇති ප්‍රජාතන්ත්‍රීය ශක්‍යතාව ශක්තිමත් කිරීමට තුඩු දෙන ප්‍රයත්නයක් ය යන්නයි. එහයට එල්ල විය හැකි විවිධ විවේචනවලට දිය හැකි එක් ප්‍රබල පිළිතුරක් වන්නේ, එම ව්‍යාපාරය දියත් කර ඇති ආර්ථික හා සාමාජීය ප්‍රජාතන්ත්‍රවාදීකරණ මැදිහත්වීම අවධාරණය කිරීමයි. එය පුරවැසි සහභාගිත්ව සංවර්ධනය තුළින් බිම් මට්ටමෙහි ආර්ථික සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය සහතික කිරීමට කැපවී තිබෙන, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සීමා ඉක්මවා යා හැකි පුරවැසි කේන්ද්‍රීය සහ වඩාත් ජනතාවාදී සහ ප්‍රජාවාදී ප්‍රජාතන්ත්‍රවාදීකරණ අලුත් අත්හදා බැලීමකි. එසේ වුවත්, සිවිල් සමාජ සංවිධාන විසින් මෙවැනි ප්‍රයත්න දශක ගණනාවකට පෙර පටන් ආරම්භ කළ ඉතිහාසයක් ද අප රටෙහි තිබෙනබව ද අප මතක් කරගත යුතුය.

ජයදේව උයන්ගොඩ – සිළුමිණ


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here