ඌව පළාත් හිටපු මාධ්‍ය චාමර සම්පත් දසනායකගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකාරියකට ඇප

0
11


2016 වසරේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 173 ක පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඌව පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) සුමිත්‍රා සිල්වා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් මෙම සැකකාරිය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියට පමුණුවනු ලැබුවා.

අනතුරුව අදාළ සැකකාරිය  රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන බවත් සඳහන් කළා.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඌව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විසින් සිදුකළ නීතිවිරෝධී ක්‍රියාවට ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන බව සඳහන් කළා. 

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පළාත් සභාවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් මත තම සේවාදායිකාව කටයුතු කර ඇති බවයි.

ඇය පළාත් සභාවේ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කර ඇතැයි සඳහන් කළ විත්තියේ නීතිඥවරයා මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇප මත මුදා හැර ඇති නිසාත් විමර්ශන කටයුතු අවසන් වී ඇති නිසාත් තම සේවා දායිකාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ සැකකාරියේ ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ජුනි මස 17 වන දා කැඳවන ලෙස නියම කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here