උ.පෙළ සිසුන් පාසල් මගහරී

0
4

උසස් පෙළ සිසුන් වසර දෙක පුරාම පාසල් අධ්‍යාපනයට නැඹුරු කරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවත් උසස්පෙළ සිසුන් පමණක් නොව 11 ශ්‍රේණියේ සිසුන් ද මේ වන විට පාසලට පැමිණීම සීමා වෙමින් පවතින තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.

උසස් පෙළ සිසු දරු දැරියන් වසර දෙක පුරාම පාසල් අධ්‍යාපනයට නැඹුරු කරවීමට අවශ්‍ය ගුණාත්මක, කාලීන හා ආකර්ෂණීය වශයෙන් වූ වැඩපිළිවෙළක් හා නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නොහැකි වී තිබූ බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි. එමෙන්ම මේ සඳහා සිසු දරු දැරියන් මෙන්ම දෙමව්පියන්, ගුරුවරුන් ද සම්බන්ධ කර ගනිමින් පාසල් පද්ධතිය තුළට උසස්පෙළ සිසුන් නැඹුරු කර ගැනීමට හැකි වැඩපිළිවෙළක් සකස් කර මෙහෙයවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කටයුතු කර නොතිබුණි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරුවරුන් ඇතුළු කළමනාකරණය සඳහා දරන වැටුප්, වේතන, දීමනා, මෙන්ම පාසල් පද්ධතියේ යටිතල පහසුකම් වෙනුවෙන් දරන වියදම් දිගුකාලීනව ඌන උපයෝජිත භාවිතා වන බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. රජයේ පාසල්වල ඉගෙනුම ලබන උසස් පෙළ සිසු දරු දැරියන් පාසල් අධ්‍යාපනයට නැඹුරු කරවීම සම්බන්ධයෙන් වූ කාර්යසාධන විගණන වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර වසර හතරක් ගතවී තිබේ. එහෙත් එම විගණන වාර්තාවේ සඳහන් විගණන නිරීක්ෂණ 14ක් සහ නිර්දේශ 13ක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here