උ.පෙළ විභාගයට සියල්ල සූදානම්!

0
9

දරුවනේ ඔබ සැමට ජයම වේවා!
අපේක්‍ෂකයෝ 340,525ක්
වැලිකඩ රැඳවියෙක් – අපේක්‍ෂා රෝහලේ 2ක් අද විභාගය ලියති

උසස් පෙළ විභාගයට (2025) සියල්ල සූදානම් බවත් පළමු දිනය වන අද (10දා) විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයන් විභාගය ආරම්භ වීමට පැයකටවත් කලින් තමාට අයත් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ඊයේ (09දා) ඉල්ලා සිටියාය.

දෙමාපියන් ද දරුවන්ට අනවශ්‍ය පීඩනයක් නොදී නියමිත දිනයට අදාළ විෂයන් සහ වේලාවන් පිළිබඳ ප්‍රවේශ පත්‍රයට අනුව දැනුවත්ව සිට දරුවන් මෙහෙයවන ලෙස ද ඇය ඉල්ලා සිටියාය. විශේෂයෙන් ප්‍රවේශ පත්‍රය සහ අනන්‍යතාව සහතික කරන හැඳුනුම්පත වැනි දේ රැගෙන යෑමට උපදෙස් දීමට වගබලා ගන්නා ලෙස ද ඇය පවසයි.

විභාග අපේක්‍ෂකයන් අනන්‍යතා සහතික පත්‍රයේ අත්සන් සහතික කරගෙන පැමිණෙන ලෙසත් නියමිත විෂයට පිළිතුරු සපයා ශාලාධිපති ශාලාවෙන් පිටත්ව යන ලෙස දැනුම් දෙන තෙක් ශාලව තුළ රැඳී සිටිය යුතු බවත් ඇය කීවාය. විභාගයට පැමිණෙීමේදී ජංගම දුරකථන, ස්මාර්ට් ඔරලෝසු ඇතුළු තහනම් භාණ්ඩ රැගෙන නොඑන ලෙස අපේක්‍ෂකයන් දැනුවත් කර ඇති බවත් කී විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයා අවසන් වන තෙක් මුහුණ සහ දෙකන් නිරාවරණය වන සේ සිටින ලෙස ද අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියාය.

මැගසින් බන්ධනාගාරයේ අපේක්ෂකයකු, අපේක්‍ෂා රෝහලේ අපේක්‍ෂකයන් දෙදෙනකු සහ විශේෂ අවශ්‍යතා ඇති අපේක්‍ෂකයන් ඉල්ලා ඇති සහන ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව ද ඇය පවසයි. විශේෂයෙන් අපේක්‍ෂකයකු හදිසි අනතුරක් වැනි දෙයකට මුහුණ පෑමට සිදුවී රෝහල්ගත කිරීමට සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව අමතා උපදෙස් ලබාගන්නා ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

සමාජ මාධ්‍යවල මොන ප්‍රචාරය ගියත් විභාගය නිම වනතෙක් විශ්වාස නොකර සැමවිටම විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස සහ විශ්වාස කරන ලෙස ද ඇය ඉල්ලා සිටියාය. ඊයේ (09දා) මෙතෙක් දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට බාධා වන ආකාරයෙන් කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් එවැනි තත්ත්වයක් වාර්තා වුවහොත් අපේක්‍ෂකයන්ට අවශ්‍ය සහන ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආරක්‍ෂක අංශ සමග මනා සම්බන්ධතාවක්

ගොඩනඟාගෙන ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරිය කීවාය.

විභාගය සඳහා පාසල් අයැදුම්කරුවෝ 245,521 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවෝ 94,004 ක් සමග අපේක්‍ෂකයෝ තුන් ලක්‍ෂ හතළිස්දහස් පන්සිය විසිපහක් (340,525) පෙනී සිටිති. විභාගය මධ්‍යස්ථාන 2,362 කදී පැවැත්වේ.

විභාගය අද ආරම්භ වී දෙසැම්බර් 05 දක්වා පැවැත්වේ. ආපදාවක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලපෑමක් එල්ල විය හැකි අපේක්‍ෂකයන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 හදිසි ඇමතුම් අංකවලට දැනුම්දිය හැක.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here