උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව පිරිනමයි… පළමු අධියරට 32ක්… – Saru News | සිංහල

0
2

රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා වූ ආයෝජනයන් දිරිමත් කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතුය යන විශ්වාසය රජය සතුව පවතින බවත්, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන රටේ ඉදිරි දැක්ම නිර්වචනය කරන වැඩසටහනක් බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.

අගමැති මේ බව කියා සිටියේ 2024 උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් පිරිසකට ලෝකයේ ඇති ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයන්හි ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව උදාකර දෙමින් ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (12) පැවති සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,001ක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂිතය.

මෙම වැඩසටහන මඟින් 2025 සිට 2033 දක්වා කාලය තුළ සමස්ත සිසුන් 200 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත. මෙහි මූලික අදියර ලෙස 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 32කු මේ වනවිටත් තෝරාගෙන ඇති අතර, ඉන් සිසුන් 09 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න්, මොනෑෂ් සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැනි ලොව ඉහළම පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී හමාරය.

ශිෂ්‍යත්ව සඳහා සිසුන් තෝරා ගැනීමේදී දැඩි විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් අනුගමනය කර ඇති අතර සිසුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල (QS, THE හෝ ARWU) මුල් 500 ඇතුළත ඇති විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබිය යුතුය.

තෝරාගනු ලබන එක් සිසුවෙකු වෙනුවෙන් වසරකට උපරිම රුපියල් මිලියන 20 බැගින්, වසර හතරක සම්පූර්ණ උපාධි කාලය සඳහා රුපියල් මිලියන 80ක් (රු. 80,000,000) දක්වා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස අද දින අප හැමෝම සතුටු විය හැකි දවසක්. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දුන් පොරොන්දුවක පළමු අදියර ලෙස අද දින උසස් පෙළ විභාගය ඉතා ඉහළින් සමත් වූ ළමුන් 33 දෙනෙකුට විදේශ අධ්‍යාපනය හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීමක් සිදුවුණා. මෙම ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් අදහසක් තිබූ පමණින් එය ක්‍රියාත්මක කිරීමට ලේසි වුණේ නැහැ. ළමයින් තෝරාගැනීම, විනිවිදභාවය පවත්වා ගැනීම, උසස් ගුණාත්මක භාවයෙන් යුත් විශ්වවිද්‍යාල තෝරාගැනීම වැනි සාධක සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට සිදු වුණා.

මෙය සාමාන්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනක් නෙවෙයි. අප රටේ ඉදිරි දැක්ම පිළිබඳ නිර්වචනය කරන වැඩසටහනක්. ඒ වගේම ලෝකයේ ඇති ඉහළම විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට සිසුන්ට ලැබෙන අවස්ථාවක්. එම නිසා මේ සඳහා තේරී පත්වන සිසුන් තුළ අධ්‍යාපන කුසලතා මෙන්ම නායකත්ව ගුණාංග, පෞරුෂත්වය, දරාගැනීම වැනි සාධක පැවතිය යුතුයි.

අපේ රට සෑදීමටනම් අපට හොඳ පුරවැසියන් අවශ්‍යයි. රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මානව සම්පතක් නිර්මාණය කිරීමට අවශ්‍යයි. සිංගප්පූරුව, චීනය, මැලේසියාව වැනි රටවල් ලෝකයේ ඉදිරියෙන් සිටින්නේ මානව සම්පත ගොඩනැගීම සඳහා ආයෝජනයන් සිදු කරමින් ඉදිරියට යාමට උත්සාහ දැරීම නිසයි. එම ක්‍රියාවලිය අපද අනුගමනය කළ යුතුයි.

උපාධිධාරියෙක් වීමට එහා ගිය ගුණාත්මක බලපෑමක් සමාජයට සිදු කිරීමට හැකි, රටේ සමස්ත සමාජ පරිවර්තන ක්‍රියාවලියේ පුරුකක් ලෙස මෙම ශිෂ්‍යත්වධාරීන් අනාගතයේදී පත්විය යුතුයි යන විශ්වාසය අපට තියෙනවා. මෙය අප දීර්ඝකාලීනව කරන ආයෝජනයක්. ඔබ තුළ ඇති පෞරුෂය තුළින් තවත් ශිෂ්‍යයෙකුට උදව් කිරීම, කණ්ඩායමක් මෙහෙයවීම වැනි සාධක අප බලාපොරොත්තු වෙනවා.

දේශගුණික වෙනස්වීම්, සංස්කෘතික සාධක, ප්‍රියයන්ගෙන් වෙන්වීම වැනි කොපමණ බාධක පැමිණියත් තමන්ගේ ගමන අත් නොහළ යුතුයි යන අධිෂ්ඨානය ඔබ ඇති කරගත යුතුයි. එම සියලුම බාධක ඔබගේ නායකත්ව ගුණාංග වර්ධනය කරගැනීම සඳහා යොදාගන්න. අමාරු අත්දැකීම් වලින් වුවත් ඒ අත්දැකීම අවස්ථාවක් බවට පත් කිරීමට උත්සාහ කරන්න. නව සංස්කෘතීන්, තාක්ෂණයන්, දැනුම් පද්ධතීන් අධ්‍යයනය කරන්න. ඒවා අප රට ගොඩනැංවීමට භාවිත කරන්නේ කෙසේද යන්න සිතන නව චින්තකයෙක් වෙන්න.

පුළුවන් තරම් අත්දැකීම් ලබාගන්න උත්සාහ කරන්න. සන්නිවේදන හැකියාවන්, සහකම්පනය, කණ්ඩායම් මෙහෙයවීම, වෙනත් කෙනෙකු තේරුම් ගැනීම වැනි හැකියාවන් දියුණු කරගන්න උත්සාහ කරන්න. එය තුළින් තමයි අප ඔබෙන් බලාපොරොත්තු වන ඒ බලපෑම මේ රටට ලබාගන්න පුළුවන්. අප ඔබව කිසිසේත්ම තනි කරන්නේ නැහැ. ඕනෑම අර්බුදකාරී තත්ත්වයකදී අප ඔබ වෙනුවෙන් මැදිහත් වීමට සූදානම්. තානාපති කාර්යාල හරහා අවශ්‍ය සම්බන්ධීකරණ මැදිහත්වීම්ද සිදු කිරීමට අප සූදානම්. රට සමාජ පරිවර්තනයක් කරා රැගෙන යාමටනම් එය අප සැමගේම සාමූහික මැදිහත්වීම මත එකිනෙකාව ආරක්ෂා කරගනිමින් සිදු කළ යුතුයි. ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම ජනහිතවාදී මඟකට ගැනීමට හැකි නායකයන් අප නිර්මාණය කළ යුතුයි.”

මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here