‘පායා එන්න හිරු සේ’ සමග සිනමාවට අවතීර්ණ වුණු ඇය අද තරු අතර දිදුළන තාරකාවක් බවට පත්වෙලා හමාරයි. පුංචි තිරයේත් සිනමාවේත් සම්මාන රැසකින් පිදුම් ලැබූ, ජනතා ආදරය ගෞරවය තවමත් එලෙසම අත්විඳින ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය. සිය දියණියගේ උපන්දින සාදය වෙනුවෙන් විදේශගත වීමට පෙර කාර්යබහුල මොහොතක උදාරි, ‘මව්රට’ හාට් සමග අදහස් බෙදාගත්තේ මේ විදියටයි. Sri Lanka Latest News
හෙලෝ උදාරි මාව මතකද?
ඔව් ඔව්. මතකයි.
ඉතින් කියමු බලන්න ඒ මතකයන් ගැන?
මට අයියව නම් ගොඩක් මතකයි. හැබැයි මම හිතන්නේ අයියා මේ අහන්නේ ‘මාව මතකද?’ ටෙලිනාට්‍යය ගැන වෙන්න ඇති. දිනේෂ් හග්ගලගේ නිර්මාණයක් තමයි ‘මාව මතකද?’ ටෙලිනාට්‍යය. දසුන් පතිරණ සමග මම පළමු වතාවට ටෙලිනාට්‍යයක රඟපාන්නේ. කතාව ගැන මම දැන්ම කියන්න ගියොත් මම ප්‍රේක්ෂකයන්ට කරන්නේ අසාධාරණයක්. කාලෙකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණ්. මම බොඳ මීදුම් ටෙලිනාට්‍යයේ තමයි ප්‍රථම වතාවට රඟපෑවේ. ඒ ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග රයිගම්, සුමති සම්මානවල ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුණා. ඉතින් පුංචි තිරයේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව එක රූපවාහිනී නාලිකාවක දැකගන්න පුළුවන්. පසුගිය දවස්වල සිටුවර අසපුව ටෙලිනාට්‍යයේ දැකගන්න පුළුවන් වුණා. දැන් ඉතින් ‘මාව මතකද?’ ටෙලිනාට්‍යය හරහා මම නැවත එනවා. සිනමා ප්‍රේක්ෂකයන්ගේ වගේම පුංචි තිරයේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් මට නිරන්තරයෙන්ම ලැබෙනවා මේ නිර්මාණ හරහා.
‘දේවි කුසුමාසන’ සමග රජ ගමනක් නේද මේ දවස්වල?
ඒ ගැන නම් විශේෂයෙන් කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ දවස්වල සිනමාවේත්, පුංචි තිරයේත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව දැකබලා ගන්න පුළුවන් වීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. විශේෂයෙන්ම මම ජයන්ත චන්ද්‍රසිරි අයියාට ස්තුතිය පුදකරනවා ඔහුගේ නිර්මාණයකට මාව නැවත සම්බන්ධ කරගත්ත එකට. ජයන්ත අයියාගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙලා හොඳම නිළිය ලෙස මට සිනමාවෙන් සම්මාන ලැබුණා. මම ගැන තිබ්බ විශ්වාසයට මම උපරිම සාධාරණයක් කළා. ඒ ගැන සතුටුයි. මොකද මේ ලැබෙන ප්‍රතිචාරත් සමග.
‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ ඔබේ රංගනයේ වෙනසක් දකිනවා?
ඔව්. මට යුද්ධ කරන්න තිබුණේ නැහැ. හැඟීම් එක්ක තමයි මට මහන්සි වෙන්න තිබුණේ. සමාජයේ අපි ගොඩක් දකිනවා ආදරයේදී ඉවසීම අඩු නිසා විවිධ ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ආදරය වැඩිපුර ලබන්න නම් ඉතින් වැඩිපුරම තියෙන්න ඕනේ ඉවසීම. මගේ චරිතය තුළ මානසිකව හැඟීම් එක්ක මම වැඩිපුර මහන්සි වුණා. හේමාල් කායිකව මහන්සි වුණේ.
හේමාල් සමග ඔබ සිනමාවේ දුර ගමනක් ගිය බව අපි දකිනවා. ඔහු ගැන මොකද හිතන්නේ?
හේමාල් දක්ෂ නිහතමානී හොඳ සහෝදරයෙක්. ඔහු සමග චිත්‍රපට කීපයකම මම ප්‍රධාන චරිත රඟපෑවා. මම හිතනවා ඔහු සමග රඟපාන්න ලැබුණු හැම චරිතයකදීම ඔහු මට ලොකු සපෝට් එකක් දුන්නා කියලා. හේමාල්ගෙන් මට ලැබුණු ඒ ශක්තිය වචනයෙන් කියන්න බැරි තරම්. මාවත් චරිතය තුළින් ඉස්මතු වෙන්න ඒ ශක්තියත් බලපෑවා.
පසුගිය දවස්වල කතාබහට ලක්වුණා නේද හේමාල්ගේ වයිෆ් උදාරි කියලා?
ඔව්නේ. සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කරපු ‘වයිෆ්’ චිත්‍රපටයේ මගේ සැමියා විදියට රඟපාන්නේ හේමාල් රණසිංහ. මම හේමාල්ගේ වයිෆ්. ඒ චිත්‍රපටය වර්තමාන කතාවක් පාදක කරගෙන ගොඩනැගුණු නිර්මාණයක්. අපි හැමෝගෙම ජීවිතවල කොටසක් ‘වයිෆ්’ චිත්‍රපටයේ ගැබ්වෙලා තියෙනවා. ළඟදීම ‘වයිෆ්’ දැකබලාගන්න පුළුවන්.
‘පායා එන්න හිරු සේ…’ ආපු ගමන අද දිදුළන තාරකාවක් බවට පත්වෙලා නේද?
හරිම භාග්‍යවන්ත කෙනෙක් මම. සිනමාවට එන්නේ වේදිකාවෙන්. පුංචි තිරයෙන්. සිනමාවට ඔය විදියට තමයි ගොඩ දෙනෙක් පියවරෙන් පියවර එන්නේ තමන්ගේ දක්ෂතාවන් පෙන්වමින්. හැබැයි පෙර පිනටද මන්දා මට මුලින්ම උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටය හරහා එන්න ලැබුණා. ගොඩ දෙනෙක් ලොකු කැපවීම් කරලා අත්දැකීම් ලබමින් සිනමාව ජයගෙන තියෙනවා. මම කිසිම කැපවීමක් නැතුව ආපු ගමනක් තමයි මේ. මගේ මවුපියන්ගේ සිහිනය වුණේ මාව රංගන ශිල්පිනියක් කරන එක. මගේ මවුපියන්ට මම ගරු කරනවා. ඔවුන්ගේ ආශීර්වාදය සමග අද මම ලස්සන ගමනක් ඇවිත් තියෙනවා.
වසන්ත විතාරණගේ
Saru FM Media