ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට එරෙහිව සිදුකළ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට ඉරාන උත්තරීතර නායක අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු මෙන්ම ආරක්ෂක අංශ ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ද ඝාතනයට ලක්විය.
ඊයේ (28) දින මෙම ප්‍රහාර දෙරටවල් ආරම්භ කළ අතර ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග යුද ගැටුම් නැවත ආරම්භ විය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ලොව පුරා සියලු ගුවන් ගමන් සමාගම් තීරණය කළ අතර ඉරානය හරහා වැටී ඇති හෝමූස් සමුද්‍ර සන්දිය ඉරානය වසා දැමීමත් සමග ඉන්ධන නෞකා ගමනාගමනයද අඩාල වීමෙන් මේ වන විට අර්බුද රැසක් මතුවීමට පටන් ගෙන තිබේ.
ගැටුමට හේතුවූ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව මෙම ප්‍රහාර ආරම්භ කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළය.
ඊට එරෙහිව අවස්ථා කිහිපයකදීම ඊශ්‍රායලය විරෝධය පළ කළ අතර විවිධ අවස්ථාහිදී මේ සම්බන්ධව දෙරට අතර ගැටුම්ද නිර්මාණය විය.
මේ සම්බන්ධව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මින් පෙර පැවසුවේ මෑත වසරවලදී ඉරානය ආයුධ නිෂ්පාදනය කිරීමට පියවර ගත් බවත් එය නතර නොකළ හොත් ඉතා කෙටි කාලයක් තුළ ඉරානයට න්‍යෂ්ටික අවියක් නිපදවිය හැකි බවත්ය.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා රැසක්ද මින් පෙර සඳහන් කර තිබුණේ ඉරානයට න්‍යෂ්ටික බෝම්බ නිපදවිය හැකි ප්‍රමාණවත් න්‍යෂ්ටික ද්‍රව්‍යද ඉරානය සතුව පවතින බවය.
2013 වසරේදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධව එවකට අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉරානය සමග ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ අතර 2015දී ටෙහෙරානය, සම්බාධක ලිහිල් කිරීම සඳහා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කරන ඒකාබද්ධ විස්තීරණ ක්‍රියාකාරී සැලැස්මක් ලෙස හැඳින්වෙන න්‍යෂ්ටික ගිවිසුමකට එකඟ විය.
එමගනි චීනය, රුසියාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයද ඉරානයේ යුරේනියම් පොහොසත් කිරීම 3.67%කට සීමා කළ ගිවිසුමකට එකඟ විය.
කෙසේ නමුත් 2018 වසරේ බලයට පැමිණි ට්‍රම්ප් එක්සත් ජනපද ඒකපාර්ශ්විකව ගිවිසුමෙන් ඉවත් වූ අතර ඉරානයට එරෙහිව සම්බාධකද පැනවීය.
ඊශ්‍රායලය සහ ට්‍රම්ප් මෙම ගිවිසුම සම්බන්ධව විවේචනාත්මක එවකට ප්‍රකාශ කර තිබූ අතර ඉරානයද සිය කැපවීම් අත්හැර ගිවිසුමෙන් පනවා තිබූ සීමාවන් ඉක්මවා පොහොසත් යුරේනියම් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ බවත් සඳහන් විය.
ඒ අනුව මතුවූ මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අර්බුද මතුවූ අතර පසුගිය 2025 වසරේදී ට්‍රම්ප් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙත දින 60ක කාල සීමාවක් සහිත න්‍යෂ්ටික ගිවිසුමක් පිළිබඳව නව සාකච්චා යෝජනා කරමින් ලිපියක් යොමු කරනු ලැබීය.
නමුත් කමේනි විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර එක්සත් ජනපදය සමග ඉරානය සාකච්ඡා කිරීමට උත්සාහ නොකරන බවත් උත්තරීතර නායකයා පවසා තිබුණි.
ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් 9 දෙනෙකුත් ඝාතනය වෙයි
කෙසේ වෙතත් පසුව මතුවූ අර්බුද මැද පසුගිය වසරේ ආරක්ෂක ගැටලු සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහන් කරමින් බෙන්ජමින් නෙතන්යාහු ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට බෝම්බ හෙලනු ලැබීය.
එම ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා පැසවුවේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක ප්‍රහාරයක් වූ බවය.
ඊශ්‍රායලය විසින් එහිදී එල්ල කරන ලද මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් 9 දෙනෙකු ඝාතනය වූ බවද වාර්තා පළ විය.
ඊශ්‍රායල හමුදා පැවසුවේ ඉරාන ජෙනරාල් කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ න්‍යෂ්ටික වැඩසටහනේ නායකයින් ඇතුළු 100කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ප්‍රහාර දියත් කළ බවය.
IRGC අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන තස්නිම් වාර්තා කළේ ප්‍රහාරවලින් න්‍යෂ්ටික විද්‍යාඥයින් හය දෙනෙකු ද මිය ගිය බවත්, ඔවුන්ගෙන් පස් දෙනෙකු නම් කර ඇති බවත්ය.
ඒ අනුව මෙම ප්‍රහාර හමුවේ ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයේ හිටපු ප්‍රධානී ෆෙරෙයිඩූන් අබ්බාසි, ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහනට සම්බන්ධ බවට ඊශ්‍රායලය චෝදනා කළ මොහොමඩ් මහ්ඩි ටෙහෙරාන්චි, ඉරානයේ ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික ඉංජිනේරු අංශයේ ප්‍රධානී අබ්දුල්හමිඩ් මිනූචෙර්, ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික ඉංජිනේරු මහාචාර්යවරයෙක් වන අහමඩ් රේසා සොල්ෆගාරි, ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්ව විද්‍යාලයේ තවත් න්‍යෂ්ටික මහාචාර්යවරයෙකු වූ අමිර්හොසේන් ෆෙක්හි මිය ගිය බව මාධ්‍ය වාර්තා පළ විය.
එමෙන්ම ඉරානය ඉලක්ක කළ මෙම ප්‍රහාර හමුවේ ඉරානයේ හමුදා අණ දෙන නිලධාරීන් තිදෙනෙකුද ඝාතනය කළ බව ඊශ්‍රායලය එම ප්‍රහාරයෙන් පසුව නිවේදනය කළේය.
ඒ අනුව ඉරානයේ සන්නද්ධ නායක ලෙස කටයුතු කළ මොහොමඩ් හුසෙන් බගෙරිගේ, ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකායේ (IRGC) නායන හුසේන් සලාමි, සහ කටම් අල් -අන්ඛියා මධ්‍යම මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ ජනරාල් ගොලමලී රෂීඩ් මෙලෙස ඝාතනය කර ඇති බව වාර්තා විය.
ගිවිසුම ගැන යළි සිහි කැඳවූ ට්‍රම්ප්
කෙසේ නමුත් මේ සම්බන්ධව අදහස් දක්වමින් එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධව අමෙරිකාව සමග ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස තමන් ඉරානයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ සඳහා අවධානය යොමු කළ යුතුව තිබුණු බවත්ය.
කෙසේ නමුත් ප්‍රමාද වීමට පෙර න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධව ඉරානය දැන් එකඟතාවට පැමිණිය යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.
ආන්දෝලනයට තුඩු දුන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කුමක්ද?
ඉරානය දිගු කලක් පුරාවට තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමි, සිවිල් අරමුණු සඳහා පමණක් බව සඳහන් කර තිබුණි.
දේශීය බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා සහ අපනයනය සඳහා වැඩි තෙල් ප්‍රමාණයක් නිදහස් කිරීම සඳහා අතිරේක න්‍යෂ්ටික බලාගාර ඉදිරි කිරීමටත් ඉරානය සැලසුම් කර තිබූ බවද සඳහන් විය.
න්‍යෂ්ටික බලාගාර සඳහා යුරේනියම් නම් ඉන්ධනයක් අවශ්‍ය වන අතර එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂන ආයතනයට අනුව න්‍යෂ්ටික අවි වැඩසටහනක් නොමැතිව ඉරානය දැනට කරන ආකාරයේ යුරේනියම් වෙනත් කිසිදු රටක නොමැත.
ඉරානය තම අභිප්‍රායන් පිළිබඳ සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් කටයුතු නොකරන බවට සැක මතු විය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ වූයේ කවදාද?
1957 දී අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග න්‍යෂ්ටික වැඩසටහනක් දියත් කළේය.
ඒ ඉරානයේ බටහිර හිතකාමී පාලකයෙකු වූ මොහොමඩ් රේසා පහ්ලවි ගේ පාලන සමයේදීය.
එහිදී අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව ඉරානය 1970 කාලයේදී සිය න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සංවර්ධනය කිරීම ආරම්භ කළ නමුත් 1979 ඉස්ලාමීය විප්ලවය අතර තුර මොහොමඩ් රේසා පහ්ලවි බලයෙන් පහ කරන විට අමෙරිකා එක්සත් ජනපදය එහි සහයෝගය ඉල්ලා අස් කර ගත්තේය.
පසුව ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පරිවර්ථනය වීමෙන් පසු බටහිර ජාතීන් කනස්සල්ලට පත්වූ අතර ඉරානය න්‍යෂ්ටික වැඩසටහන භාවිත කර ඉතා පොහොසත් යුරේනියම් භාවිතයෙන් පරමාණුක අවියක් නිෂ්පාදනය කළ හැකි බවටද සැක පළ කළේය.
කෙසේ නමුත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරානය පැවසුවේ තමන් න්‍යෂ්ටික අවි තැනීමට උත්සාහ නොකරන බවය.
න්‍යෂ්ටික වැඩසටහන මතභේදාත්මක වූයේ ඇයි ?
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් ඇති වූයේ එහි එහි යුරේනියම් වර්ධනය වීමත් සමගය.
යුරේනියම් යනු රසායනික සංකේතය U සහ පරමාණුක ක්‍රමාංකය 92 සහිත ස්වභාවිකව ඇති වන, බර, විකිරණශීලී ලෝහයකි. එය ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකාරකවල ඉන්ධනයක් ලෙස සහ න්‍යෂ්ටික අවි භාවිතය සඳහා ප්‍රසිද්ධය.
ස්වාභාවික යුරේනියම් බොහෝ දුරට යුරේනියම් – 238 – 99.3% ක් පමණ වන අතර න්‍යෂ්ටික බලශක්ති භාවිතය සඳහා ප්‍රයෝජනවත් යුරේනියම් – 235 කුඩා ප්‍රමාණයක් සාන්ද්‍රණය කළ යුතුය.
මෙය සිදු කිරීම සඳහා, යුරේනියම් පළමුව වායුවක් බවට පත් කරනු ලබන අතර, පසුව කේන්ද්‍රාපසාරී ලෙස හඳුන්වන යන්ත්‍රවල අධික වේගයෙන් භ්‍රමණය වන කරනු ලැබේ. එමෙන්ම මෙම යන්ත්‍ර මගින් යුරේනියම්-235 වඩාත් සුලභ යුරේනියම්-238 න් වෙන් කිරීමටද උපකාරී වේ.
න්‍යෂ්ටික බලාගාරවල භාවිතා කරන යුරේනියම් සාමාන්‍යයෙන් 3.67% දක්වා පොහොසත් කරනු ලබන අතර න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට නම් එය 90% දක්වා පොහොසත් කළ යුතුය.
ඉරානය යුරේනියම් 60% දක්වා පොහොසත් කර ඇති අතර න්‍යෂ්ටික අවියක් සෑදීමට එය ප්‍රමාණවත් නොවේ. නමුත් එය ආයුධ ශ්‍රේණියේ ද්‍රව්‍ය වෙත සමීප වීමේ ප්‍රධාන පියවරක් බවද සඳහන් වේ.
මේ අතර 2000 දශකයේ මුල් භාගයේදී ජාත්‍යන්තර පරීක්ෂකයින් නිවේදනය කළේ නටාන්ස් හී ඉරාන කම්හලකින් අධික ලෙස පොහොසත් යුරේනියම් හමුවූ බවය.
2006දී ඉරානය එම වැඩසටහන නැවත ආරම්භ කරන ලද්දේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග ඇතිකරගත් ගිවිසුම යටතේ එයට අවසර දී ඇති බව අවධාරණය කරමින් වන අතර එය ඉරානයට එරෙහිව වසර ගණනාවක් ජාත්‍යන්තර සම්බාධක පැනවිමටද හේතු විය.
වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව, 2015 දී ඉරානය සහ ලෝක බලවතුන් හය දෙනෙකු සැහැල්ලු සම්බාධක සඳහා ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සීමා කරන න්‍යෂ්ටික ගිවිසුමකට එකඟ විය.
මෙම ගිවිසුමට අනුව ඉරානයට යුරේනියම් පොහොසත් කිරීමේ මට්ටම් 20% සිට 3.67% දක්වා අඩු කිරීමටත්, යුරේනියම් තොගය අඩු කිරීමටත්, කේන්ද්‍රාපසාරී යන්ත්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමටත් අවශ්‍ය විය.
ඉරානය සතුව න්‍යෂ්ටික අවි ?
ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සෑදිමට කොතරම් සමීප විය හැකිද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති නමුත් එහි ප්‍රධාන අමුද්‍රව්‍ය වන අධික ලෙස පොහොසත් යුරේනියම් නිෂ්පාදනය කිරීමේදි එය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව වාර්තා වේ.
2018 දී ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී එහි ආර්ථිකය අඩපණ කිරීම සඳහා පාලන තන්ත්‍රයට නව සම්බාධක පැනවීය.
ඉන්පසු බයිඩන් පරිපාලනය ඉරානය සමඟ ගිවිසුම නැවත පණ ගැන්වීමේ අරමුණින් වසරකට වැඩි කාලයක් වක්‍ර සාකච්ඡා ආරම්භ කළ නමුත් 2022 දී ඒවා බිඳ වැටුණි.
Saru News















