පොලිසියේ නාමය අපකීර්තියට පත් කරමින් විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් මහා පරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි පොලිස් සැරයන් වරයකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (30 වැනිදා) උදෑසන කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ නිවසක් වටලා අත්අඩංගුවට ගෙන ඇත.
විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය හසුරුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි රසල් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතම ගෝලයෙකු ලෙස හඳුනාගෙන ඇති මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට පත්වන විට උඩප්පුව පොලිසියට අනුයුක්තව සේවය කර ඇත.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 405යි මිලිග්‍රෑම් 215ක් පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සැරයන් සම්පත් මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් අනුව පෙරේදා (30 වැනිදා) උදෑසන සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකාර පොලිස් සැරයන්වරයා සමඟ එම කුලී නිවසේ සිටි තවත් සැකකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත.
‘චූනා’ යන අන්වර්ථ නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මෙම පුද්ගලයා විසින් කඩවත ඇල්දෙණිය පල්ලිය පාරේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඇති අතර පොලිසිය නිවස වටලන අවස්ථාවේදී එම නිවසේ රැඳී සිටි දෙවැනි සැකකරු වන ‘චූනා’ අත්අඩංගුවට ගෙන ඇත. මොහු සන්තකයේ තිබීද හෙරොයින් ග්‍රෑම් 106යි මිලිග්‍රෑම් 300ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකාර පොලිස් සැරයන් වරයා 2013 වසරේ සිට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරතව සිට ඇති අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී උඩප්පුව පොලිසියට ස්ථාන මාරුවක් ලබා ඇත.
විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වා ඇති සැරයන්වරයා දහවල් කාලයේ පොලිසියේ රාජකාරි කර සවස් කාලයේදී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (01 වැනිදා) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය. සැකකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඩී. පද්මසිරි මහතාගේ උපදෙස් මත පො.ප. මංජුල, උ.පො.ප. සමරවීර, පො.සැ. (46671) සම්පත්, පො.කො. (82362) වීරසිංහ, පො.කො.රි. (105586) බණ්ඩාර යන නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
කැලණිය – මංගලා මදුරප්පෙරුම
Saru FM Media