අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් පෙරළමින්, 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට නාසා ආයතනය තීරණය කර ඇත.
මෙම මෙහෙයුම “Space Reactor 1 (SR-1) Freedom” ලෙස නම් කර තිබේ.
දශක ගණනාවක පර්යේෂණවලින් පසු, අමෙරිකාව ප්‍රථම වරට අභ්‍යවකාශ යානයක් පදවාගෙන යාම සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් (Nuclear Electric Propulsion)භාවිතා කරනු ඇත.
මෙහිදී කිලෝවොට් 20ක විදුලි බලයක් නිපදවිය හැකි කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් භාවිතා කරන බව සඳහන් වේ.
අදාළ යානය අඟහරු වෙත ළඟා වූ පසු, “SkyFall” නමැති විද්‍යාත්මක මෙහෙයුම යටතේ හෙලිකොප්ටර් යානා තුනක් අඟහරු මතුපිටට මුදා හරිනු ඇති බවද සඳහන් වේ.
මෙම හෙලිකොප්ටර් මගින් අනාගතයේදී මිනිසුන් ගොඩබැසීමට සුදුසු ස්ථාන සහ භූගතව පවතින අයිස් ජලය පිළිබඳව ගවේෂණය කරනු ඇත.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වසරේදී සඳ මත බලශක්තිය නිපදවීම සඳහා “Lunar Reactor 1” මෙහෙයුම දියත් කිරීමටත්, 2030 දශකය තුළදී මෙගාවොට් මට්ටමේ බලයක් නිපදවිය හැකි දැවැන්ත න්‍යෂ්ටික පද්ධති නිර්මාණය කිරීමටත් නාසා ආයතනය අපේක්ෂා කරයි.

නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් මහතා ප්‍රකාශ කළේ, “දශක ගණනාවක් තිස්සේ පෘථිවියෙන් බැහැර නොවූ සංකල්ප සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කිරීමෙන් පසු, අමෙරිකාව අවසානයේ අභ්‍යවකාශයේදී න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමට පියවර ගන්නා” බවයි.
මෙම මෙහෙයුම අඟහරු වෙත මිනිසුන් යැවීමේ නාසා හි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
* නාසා ආයතනයේ නවතම මෙහෙයුම….

නාසා ආයතනය සිය Artemis II මෙහෙයුම හරහා ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වෙත ගමන් කිරීම අද (02) ආරම්භ කළේය.
මෙය සඳ මත ගොඩබැසීමට සහ අනාගතයේදී එහි ස්ථිර පදනමක් පිහිටුවීමට මඟ පාදන තීරණාත්මක පියවරකි.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 93ක පමණ මුදලක් වැය වී ඇති බව ගණන් බලා ඇති බව සඳහන් වේ.
මීට වසර 54කට පෙර ‘ඇපලෝ’ මෙහෙයුම් හරහා සඳ ජයගෙන තිබියදීත්, අමෙරිකාව නැවතත් මෙතරම් මුදලක් සහ ශ්‍රමයක් සඳ වෙත යොමු කරන්නේ ඇයි? ඒ පිටුපස ඇති ප්‍රධාන හේතු කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

1. සඳ මත ඇති වටිනා සම්පත්
සඳ යනු හුදෙක් දූවිලි සහිත පාළු ස්ථානයක් නොවන බව විද්‍යාඥයෝ පවසති. පෘථිවියේ ඉතා දුර්ලභ මෙන්ම superconducter සහ වෛද්‍ය උපකරණ සඳහා භාවිත වන හීලියම් (Helium), යකඩ සහ ටයිටේනියම් වැනි ලෝහ සඳ මත බහුලව පවතී.

2. ජලය සොයා ගැනීම
මෙම මෙහෙයුමේ ප්‍රධානතම ඉලක්කය වන්නේ සඳෙහි ධ්‍රැව ප්‍රදේශවල අයිස් ලෙස පවතින ජලයයි. මෙම ජලය පානීය අවශ්‍යතා සඳහා පමණක් නොව, එය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ලෙස වෙන් කිරීමෙන් ගගනගාමීන්ට හුස්ම ගැනීමට අවශ්‍ය වාතය සහ අභ්‍යවකාශ යානා සඳහා අවශ්‍ය ඉන්ධන නිපදවා ගැනීමට ද හැකියාව ලැබේ.

3. අභ්‍යවකාශ ආධිපත්‍යය සඳහා තරගය
1960 දශකයේදී අමෙරිකාව සෝවියට් සංගමය සමඟ තරග කළ අතර, මෙවර ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී ඇත්තේ චීනයයි. චීනය 2030 වන විට මිනිසුන් සඳ වෙත යැවීමට සැලසුම් කර ඇති බැවින්, සඳෙහි සම්පත් බහුල ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට අමෙරිකාව උත්සාහ කරයි. එක්සත් ජාතීන්ගේ ගිවිසුම් අනුව සඳෙහි අයිතිය කිසිදු රටකට හිමි කර ගත නොහැකි වුවද, එහි මුලින්ම පදිංචි වන පාර්ශවයට එම සම්පත් පරිහරණය කිරීමේ වැඩි වාසියක් හිමි වේ.
4. අඟහරු වෙත යන මාවත
නාසා හි අවසන් ඉලක්කය වන්නේ 2030 දශකය වන විට මිනිසුන් අඟහරු ලොව වෙත යැවීමයි. අඟහරු වැනි දුරස්ථ ග්‍රහලෝකයක ජීවත් වීමට අවශ්‍ය තාක්ෂණය එනම් නිවාස තැනීම, විකිරණවලින් ආරක්ෂා වීම සහ බලශක්තිය නිපදවීම මුලින්ම පරීක්ෂා කර බැලීමට ඇති ආරක්ෂිතම සහ ලාභදායී ‘පරීක්ෂණාගාරය’ වන්නේ සඳයි.

5. පෘථිවියේ ඉතිහාසය හෙළි කර ගැනීම
සඳ නිර්මාණය වී ඇත්තේ මීට වසර බිලියන 4.5කට පෙර පෘථිවියේ කොටසක් වෙන් වීමෙන් බව විශ්වාස කෙරේ. සඳ මත සුළඟ හෝ වැස්ස නොමැති බැවින්, එහි ඇති පාෂාණ පෘථිවියේ සහ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය පිළිබඳ තොරතුරු රැගත් “කාල කැප්සියුලයක්” වැනි යැයි විද්‍යාඥයෝ පවසති.
මෙම ආටිමිස් II මෙහෙයුම මගින් නව රැකියා උත්පාදනය මෙන්ම විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව නව පරපුර උනන්දු කරවීමට ද අපේක්ෂා කෙරේ.
ලෝක අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබමින් අභ්‍යවකාශයට ගිය ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයා වූ රසායන විද්‍යාඥවරියක සහ ගගනගාමියෙකු වන හෙලන් ෂර්මන් මහත්මිය පවසා ඇත්තේ “අපි හැමෝම එකතු වුණොත් මනුෂ්‍ය වර්ගයාට කළ හැකි දේ මෙයින් ලොවටම පෙන්වා දෙනවා,” යනුවෙනි.
Saru News













