මේ වනවිට විශාල ජන සංහාරයක් සිදු වෙමින් පවතින පලස්තීන ගාසා යුද්ධයට එරෙහිව ඊශ්‍රායල ගුවන් හා නාවික ස්වෙච්චා භටයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ගැටුම් නවත්වන ලෙස ඉල්ලා අගමැතිවරයාට යවන යන ලද පෙත්සමක් නිසා දැඩි ආන්දෝලන තත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ. යුද්ධයක් පවතින අවස්ථාවක සතුරාට වාසිදායක ලෙස කටයුතු කල මෙම පිරිස නාවික හා ගුවන් හමුදාවෙන් නෙරපා හැරීමට අගමැති නෙතන්යාහු තීරණය කර ඇත. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය අප්‍රියෙල් 09 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඊශ්‍රායලය ගාසාව සොහොන් බිමක් බවට පත් කර ඇති බවයි. ගත වූ සති තුන තුළ පමණක් සිවිල් වැසියන් 1400ක් මරා දමා ඇති අතර ඉන් බහුතරය ද කුඩා දරුවන් වේ.
හමුදාව සමග අත්සන් කරන ලද සම්මුතිය නොතකා, ඊශ්‍රායල හමුදා ස්වේච්ජා ගුවන් භටයින් 970 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගාසා තීරයේ නිමක් නැති යුද්ධය හෙළා දකිමින් අත්සන් කරන ලද පෙත්සමේ සඳහන් වනුයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධය මේ වනවිට පත්ව ඇත්තේ “එක්තරා පුද්ගලයෙකුගේ පුද්ගලික හා දේශපාලන උවමනාවක් මත” සිදුවන බවයි. එම නිසා යුද්ධය අවසන් කර සිවිල් වැසියන් ඝාතන අවසන් කර හාමස් සංවිධානය විසින් සිර කරගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කර ගැනීම සඳහා නෙතන්යාහු රජයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා මෙම ලිපිය මාධ්‍ය වෙත නිකුත් කළහ.
මෙම ප්‍රකාශනය ප්‍රකාශයට පත් කිරීමෙන් ඊශ්‍රායල හමුදාව දැනට හමුදා සේවයට සුදුසුකම් ඇති සියලුම අත්සන්කරුවන් සේවයෙන් පහ කරන බව නිවේදනය කළ අතර, ඔවුන්ගෙන් සමහරක් විශ්‍රාමික ස්වේච්ජා භටයින් බවද පවසා සිටි.
අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා මෙම ස්වේච්ජා භටයින්ගේ යුධ විරෝධී ලිපිය ඊශ්‍රායල පුවත්පත් කිහිපයක් වාර්තා කළහ. මෙවැනි පෙත්සම් ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව නොවන නමුත් මෙවර අත්සන් කළ සංඛ්‍යාව 1000ක් වීම සමස්ත හමුදාවටම විශාල බලපෑමක් ඇති කරනු ලැබ ඇත. එය ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට හමුදා නායකයින්ගෙන් තර්ජන එල්ල කලද එය අපෝසත් වීම නිසා පසුව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේ සියළු අත්සන්කරුවන් සේවයෙන් පහ කිරීමට තීරණය කල බවය.
“සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානියාගේ පූර්ණ සහයෝගය ඇතිව, ලිපියට අත්සන් කළ ඕනෑම ක්‍රියාකාරී ස්වේච්ජා භටයෙකුට දිගටම හමුදාව තුළ සේවය කිරීමට නොහැකි” වනු ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මේ අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ අත්සන් කළ හමුදා භටයින් “දේශද්‍රෝහී අන්තවාදීන්” පිරිසක් බවයි.
කෙසේ වෙතත්, මෙම ලිපිය අත්සන් කළ සොල්දාදුවන්ට අනුව, හමුදාවට හා රටට සේවය කිරීම ප්‍රතික්ෂේප කිරීමක් ඉල්ලා නොසිටින අතර යුද්ධය දිගටම කරගෙන යාමට වඩා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටි.
“යුද්ධය දිගටම කරගෙන යාම මගින් ප්‍රාණ ඇපකරුවන්, සොල්දාදුවන් සහ අහිංසක සිවිල් වැසියන්ගේ මරණයට හේතු වනු ඇත,” යයි ඔවුන් අවධාරණය කර සිටිති.
එසේම එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් අප්‍රියෙල් 09 නිවේදනයකින් පවසා සිටින්නේ ඊශ්‍රායල යුද උපක්‍රම “ජන සංහාරක ලක්ෂණ වලට අනුරූප වන” බවයි. එසේම නිවාඩු යාමෙන් පසු ගාසා තීරයට නැවත පැමිණීම දැනටමත් රක්ෂිත භටයින් කිහිප දෙනෙකු ප්‍රතික්ෂේප කර තිබුණි. පසුගිය මාසයේදී බෝම්බ හෙලීම නැවත ආරම්භ කිරීමට විරෝධය පළ කළ ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකු ඔවුන්ගේ ඉහළ නිලධාරීන් විසින් සේවයෙන් පහ කරන ලදී.
ඊශ්‍රායල ගුවන් හමුදාවේ ස්වේච්ජා භටයින් 1000 දෙනාට සහය පල කරමින් ගාසා තීරයේ සටන් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින විවෘත ලිපියකට හිටපු ඊශ්‍රායල නාවික නිලධාරීන් 150 කට වැඩි පිරිසක් ද අත්සන් තබා ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
“සටන් විරාමයෙන් පසුව ආරම්හ වූ ගැටුම් හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රමාද වන අතර, සොල්දාදුවන් මිය යන අතර අහිංසක සිවිල් ජීවිත හානි ද සිදු වේ,” යයි ඔවුන් ද පවසා සිටි. ආරක්ෂක යුධ තීරණ “නීති විරෝධී සලකා බැලීම්” මගින් මෙහෙයවනු ලබන බවට අත්සන්කරුවන් තවදුරටත් කනස්සල්ල පළ කරති. එසේම ස්වේච්ජා වෛද්‍යවරුන් සිය ගණනක් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්, හමුදා මාණ්ඩලික ප්‍රධානී ඊයල් සමීර් සහ ඔහුගේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වෙත ලිපියක් යවා සටන් නතර කර ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම පෙත්සම් හෙලා දකින අතර තම රජය පෙරලා දැමීමටත්, ඊශ්‍රායල සමාජය බෙදා දැමීමටත් උත්සාහ කරන “රැඩිකල් සහ අන්තවාදී” කණ්ඩායම් වලට “සමාව දිය නොහැකි” ප්‍රකාශ කළේය.
පසුගිය ජනවාරි 19 හා මාර්තු 17 වැනිදා ඊශ්‍රායල හා හාමස් සංවිධානය අතර අත්සන් තබන ලද සටන් විරාම ගිවිසුමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කරනු ලැබූ අතර පලස්තීන සිරකරුවන් 1800ක් නිදහස් කරනු ලැබිණි. නමුත් මාර්තු 18 වැනිදා සිට ඊශ්‍රායලය යළි යුධ මෙහෙයුම් ආරම්හ කරන ලද අතර එම කාලය තුල සිවිල් වැසියන් 1522 දෙදෙනෙකු මරා දමනු ලැබිණි. මේ වන විට ගාසා යුද්ධය හේතුවෙන් පලස්තීන වැසියන් 50886ක් මිය ගොස් ඇත. මිය ගිය පිරිස අතර 70%ක් කුඩා දරුවන් හා කාන්තාවන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සනාථ කර ඇත.
ඊශ්‍රායලය යුධ, නාවික හා ගුවන් හමුදා තුල ස්වේච්ජා භටයින් 360000ක් සක්‍රීය සේවයේ යෙදී සිටින අතර ඊශ්‍රායල මාධ්‍ය වාර්තා වලට අනුව ඔක්තෝම්බර් 7 වැනිදා සිට සිට ඇවිලී ගිය යුද්ධය හේතුවෙන් හමුදා සාමාජිකයින් දැඩි වෙහෙසකට හා දැඩි මානසික ආතතියන්ට මුහුණ දෙමින් සිටි. එසේම මේ වන විට දිනපතා යුධ විරෝධී හා නෙතන්යාහු දුෂිත රජයට එරෙහිව ජනතා විරෝධය ද ඊශ්‍රායල සමාජය තුල දැඩි ලෙස උත්සන්න වෙමින් පවති.
මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජූනි මාසයේදී සෞදි අරාබිය සමග නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මුලස්ථානයේ දී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේදී “නිදහස් පලස්තීන රාජ්‍යය” පිලි ගැනීම සඳහා ප්‍රංශය තීරණය කල බවය. මෙම තීරණය ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිදොන් සාර් ගේ දැඩි විවේචනයට ලක් වී ඇති අතර හාමාස් සංවිධානය හා පලස්තීන විදේශ ඇමති වර්සන් අගබෙකියන් ෂාහින් ගේ පැසසුමට ලක් වී ඇත.
Saru FM Media