වරෙක බල්ලෙක් කෑම සොරකමේ ගොස් ගෙහිමියාගේ අතට හසුවිය. “තොට හොඳ දඬුවමක් දෙන්නම්” යැයි සිතූ ගෙහිමියා බල්ලාගේ වලිගය මුලින්ම කපා දැම්මේය. වේදනාවටත්, ලැජ්ජාවටත් පත් බල්ලා කැලෑ රොදක සැඟවී ගත්තේය. තුවාලය සනීප වුවද දැන් බල්ලාට ඇත්තේ ලැජ්ජාවයි. වලිගය නැති තමාට අනිත් බල්ලන්ගෙන් එල්ලවන අපහාස උපහාස කොතරම් දරුණුවේද යන්න උගේ සිතේ මැවෙන්නට විය. මේ ගැන ගැඹුරින් කල්පනා කළ බල්ලා පිළිතුරක් සපයා ගත්තේය. ඉන්පසු ගමට ගියේය. බලාපොරොත්තු වූ පරිදිම වලිගය අහිමි බල්ලා දුටු අනිත් බල්ලෝ අපහාසයෙන් උඩුබුරන්නට වූහ. “ඒයි නවත්ත ගනිල්ලා උඹලගෙ ඔය හූව. උඹල දන්නවද මම මොකක්ද මේ කරගත්තේ කියලා?” උගේ මේ අභීත ගෝරණාඩුවත් සමග බල්ලෝ නිහඬ වූහ. “උඹල දන්නවද මේ වලිගයේ තියෙන කරදරේ?” වලිග කොටා කියාගෙන ගියේය. “බලපල්ල මේක කිලෝ එකක් විතර බරයි. කටුකැලේ පැටලෙන්නත් පුළුවනි. දැක්ක දැක්ක එකාට මේක පණ යනකන් වනන්න ඕන. බය පක්ෂපාතකම් පෙන්නන්න වලිගෙ දෙකකුල් අස්සේ ගහගන්නත් ඕන. මේ කරදර හීන දීනකම් ඔක්කොම මේ වලිගෙ නිසයි. ඒ නිසා මම මගේ වලිගෙ කපල දැම්මා. දැන් බලාපල්ල මට ඒ කිසිම කරදරයක් නෑ. මම හරිම නිදහස්. උඹලත් මං වගේ බුද්ධිමත් විධියට හිතල වැඩ කරපල්ල. නිකං බොරුවට කෑගහන්නෙ නැතිව” වලිග කොටාගේ මේ දේශනයට සවන් දුන් බල්ලෝ පුදුමයට පත් වූහ. “යකෝ මූ දාර්ශනිකයෙක් නේ. ඇත්ත තමයි, ඒ තර්කේ…” එසේ සිතූ සමහර බල්ලෝ තම තමාගේ වලිගද කපා දැමූහ.
එහෙත් තමා ගත් තීරණය ඉතා මෝඩ එකක් බව අවබෝධ වීමට වැඩි දවසක් ගත වුණේ නැත. කැපූ වලිගය නැවත ලියලන්නේ නැත. තම මෝඩකම ගැන ප්‍රසිද්ධියේ කියවන්නටත් බැරිය. ඒ නිසා ඔවුනුත් කළේ වලිගය කපා දැම්මේ යහපත ගැන කියමින් අනිත් සතුන් ද එයට පොළඹවා ගන්නට උත්සාහ ගැනීමයි. උපාය උපක්‍රම යෙදීමයි.
මේ ජනකතාව හරියටම ගැළපෙන්නේ වත්මන් අධ්‍යාපන ඇමැතිනී හරිනි අමරසූරිය මහත්මිය විසින් අලුතින් ගෙන එන්නට හදන නීති සංශෝධන ප්‍රයත්නයක් සමග යි.
දණ්ඩ නීති සංග්‍රහයට නව සංශෝධනයක් කරමින් එතුමිය කියා සිටින්නේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා එසේ කළ යුතුම වන බවයි.
2025.07.08 දින නිකුත් කෙරුණු ගැසට් පත්‍රයට අනුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්නේ ළමයින් සම්බන්ධයෙන් කවර හෝ අවමන් සහගත ශාරීරික හෝ ශාරීරික නොවන දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා යැයි සඳහන් වෙයි. එහි වරදක් කිව නොහැකිය. නමුත් මේ ක්‍රමවේදය මගින් දරුවන්ගේ පැත්තෙන් සිදුවන හානිය ද ගැඹුරින් විමසා බැලිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 308 (ආ) වගන්තියට ගෙනඑන සංශෝධනය පහත සඳහන් පරිදිය. “දඬුවම් කිරීමේ ක්‍රියා මාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන්, කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇති වීමට හේතුවන බවට දැනුම ඇතිව ශාරීරික බලය භාවිත කරනු ලබන යම් ක්‍රියාවක් සිදුකරන හෝ (ආ) කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදු කරන කවර හෝ තැනැත්තකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේ ය.” මේ වරදට දඬුවම වන්නේ මාස 06ක සිරදඬුවම හෝ රුපියල් ලක්ෂයක දඩයකි. මේ නීතිය අනුව “කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් හෝ අවමානයක්” සිදුවන වචන භාවිතයක් පවා ශාරීරික හිංසනය ගනයට අයත් වෙයි. මේ බරපතළ ලෙස භාෂාව ද විකෘති කිරීමකි. ශාරීරික නොවන ක්‍රියාවක් ශාරීරික දඬුවමක් වන්නේ කෙසේද? යන්න එහිදී පැන නැඟෙන පළමු ප්‍රශ්නය යි. අනිත් කරුණ නම් අවමානය, වේදනාව, අපහසුතාව යන වැරැදි යැයි සම්මත ක්‍රියා පිළිබඳ තීරණය ගන්නේ දරුවා වීමයි. ළමයා යහමඟට යැවීම පිණිස මාපියන් හෝ ගුරුවරුන් හෝ වෙනත් වැඩිහිටියකු හෝ දෙන අවවාදයක් වූවද ඉහත නිර්වචනයට අයත් වනු ඇත. නිදසුනක් ලෙසින් “දරුවෝ දුම් බොන්න එපා. ඒ නරක පුරුද්ද නවත්වන්න” යනුවෙන් අවවාද කළොත් “මගේ හිත රිදුණා” යැයි චෝදනා කිරීමට දරුවකුට හැකියාව ඇත. දුම්පානය වැනි ඇබ්බැහිවලට පුරුදු වූ දරුවන් සියයට සීයක්ම කැමැති වන්නේ ඒ පුරුද්ද දිගටම කරගෙන යෑමට ය. එය වරදක් බව දරුවා දන්නේ නැත. ඒ ප්‍රතිවිපාක දන්නේ මාපියන් ගුරුන් හා වැඩිහිටියන් ය. හිත රිදීම හෝ අවමානය ගැන තීරණය ගන්නේ දරුවා ය. ඒ අනුව අවවාදය දෙන තැනැත්තාට විරුද්ධව ක්‍රියා කිරීමට දරුවාට අවස්ථාව ලැබෙයි. ඒ අනුව උදේම නැඟිටීම, පාඩම් කටයුතු කිරීම, යහසිරිත් අනුගමනය ආදී කිසිවක් ගැන මාපියන්ට මින් ඉදිරියට අවවාදයක් දීමට හැකියාවක් නැත.
හේතුව ඒ හැම එකකින්ම තමාගේ සිත රිදුන බවට තීරණය ගන්නා දරුවා පොලිසියට පැමිණිලි කරන බැවිනි.
මේ නව නීතිය අනුව පාසලේ තත්ත්වය අතිශයින්ම භයානක විය හැකිය. හේතුව පන්ති මඟහැරීම, පාඩම් අභ්‍යාස නොකිරීම, අසංවර හැසිරීම ආදී කිසිවක් පිළිබඳ අවවාදයක් දීමටවත්, ගුරුවරුන්ට නොහැකිවන බැවිනි. එයට හේතුව තමා වචනයෙන් කරන අවවාදය දරුවාගේ නිගමනය අනුව ශාරීරික හිංසනයක් බවට නිර්වචනය වී ගුරුවරයා වැරැදිකාරයකු වන බැවිනි.
මේ තත්ත්වය අනාගතයේ දී උදා වුවහොත් දෙමාපියන් ද අන්ත අසරණ බවට පත්වනු නිසැකය. හේතුව දරුවා අකමැති වන ආකාරයේ කිසිදු දෙයක් පිළිබඳ වචනයෙන්වත් කියාදෙන්නට, උපදේශාත්මක මඟ පෙන්වීමක් කරන්නට දෙමාපියන්ට නොහැකි වන බැවිනි. ඔවුන් දරුවාට ශාරීරික හිංසනය කළ කලෙක මෙන් දඬුවමට ගොදුරු වන බැවිනි. දරුවාගේ නිල ඇඳුම්, පාසලේ අනන්‍යතාවට අදාළ කරුණු, සියල්ලම මේ යටතේ අවුලට පත්වනු ඇත. අවසානයේ සියල්ල පිළිබඳ තීරණය වන්නේ ලෝකය මෙතෙක් හඳුනා නොගත් දරුවන් පිරිසයි. දරුවා යහමඟ යැවීමට ගොස් දඬුවම ලබන්නේ කුමට දැයි සිතන ගුරුවරයා ද සිදුවන දෙයක් බලාගෙන සිටිනු ඇත. විශේෂයෙන්ම දරු දැරියන් අතර ඇතිවන රණ්ඩු දබරද විසඳා ගනිමින්, ඉතා අමාරුවෙන් හෝ පාසල් විනය රැක ගනිමින් උගැන්වීමේ කාර්යය සිදුකරන පාසල් ගුරුවරයා මේ නීතිය සමග අන්ත අසරණ බවට පත්වනු ඇත. පැය 24 පුරාම අදාළ විනය කටයුතුවලට බැඳී සිටින පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගුරු හිමිවරුන්ද මේ නිසා මුහුණ පාන්නේ බරපතළ ගැටලුවකටය.
මේ අනුව බොහෝ පාසල්වල පොලිස් නිලධාරී සේවය ද අත්‍යවශ්‍ය වනු ඇත. දරුවන්ගේ ගැටුම් නිරාකරණයට ගුරුවරුන් ඉදිරිපත් නොවන බැවිනි.
දරුවන්ට හිංසා කිරීම හෝ බරපතළ ආකාරයේ ශාරීරික දඬුවම් දීම අප කිසිසේත් අනුමත කරන්නේ නැත.
නමුත් දරුවන් හික්මවා ගැනීමේ වැඩිහිටි වගකීම අරභයා කාරුණිකව යම් යම් පියවර ගැනීම අත්‍යවශ්‍යම කරුණක් බව ශිෂ්ට සම්මත ලෝකය පිළිගන්නා සත්‍යයකි.
දරුවන්ට හිංසා කිරීම ආදී වැරැදි ක්‍රියාවලට එරෙහිව දැනටමත් ප්‍රමාණවත් නීති ඇත. එසේ තිබිය දී භාෂාවටත් විකෘති අර්ථ දෙමින් මේ පනවන්නට යන නීතිය මගින් දරු පිරිස වල්මත්වනු ඇත. එනිසා ගුරු පිරිස ද කළකිරීමට පත්වනු ඇත.
දරුවන්ගේ අයිතිවාසිකම් රැකීමට යැයි කියමින් බටහිර රටවල මෙවන් නීති රීති කලක පටන් ක්‍රියාත්මක වන අයුරු අපි දකිමු. ඒවායේ පාසල් පරිසරය ඛේදවාචක බවට පත්වී ඇති ආකාරය ද අපි දකිමු. මාපිය – දූ දරු සම්බන්ධයද බෙහෙවින්ම ගැටලුකාරී වී ඇති අයුරු එදිනෙදා ලැබෙන ප්‍රවෘත්ති අනුව වටහා ගත හැකිය.
බටහිර රටවල තමා විහින්ම කරගෙන තිබෙන වින්නැහිය අපේ රටටත් ගෙන ඒමට දරන දුෂ්ට කුමන්ත්‍රණකාරී උපක්‍රමයක් නව නීති සංශෝධනය මගින් ඔප්පු වන බව නම් පැහැදිලිය.
අවාසනාවන්ත සිදුවීම නම්, සමස්ත රටට, රටේ අනාගතයට බරපතළ ලෙස බලපාන මෙවැනි සංවේදී කරුණක් ගැන අදාළ කිසිදු කෙනකුගේ හෝ ආයතනයක උපදෙසක් නොගෙන අධ්‍යාපන ඇමැතිවරියගේ අත්තනෝමතිය පමණක් ක්‍රියාත්මක වීමයි. එනිසා මේ කරුණ වහාම සංවාදයකට යොමු කර පොදු තීරණයකට එළැඹෙන ලෙසත්, එතෙක් මෙවන් නීති පැනවීමක් සිදු නොකරන ලෙසත් අදාළ බලධාරීන්ට කාරුණිකව දන්වා සිටිමු.
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි
Saru FM Media









