ඊජිප්තුවේ පිරමීඩ සහ ලංකාවේ පිරමීඩ

0
1

2025 නොවැම්බර් මස 23 වැනිදා ඉරිදා

තහනම් පිරමීඩ ආයෝජන ව්‍යාපෘති 22 ක තොරතුරු සහ ඇප් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙළිකර තිබේ. සාමාන්‍යයෙන් ලෝකයේ වැඩියෙන්ම පිරමීඩ තිබෙන්නේ ඊජිප්තුවේ ය. ඊට වඩා පිරමීඩ ප්‍රමාණයක් ලංකාවේ තිබෙන බව පෙනේ. ඊජිප්තුවේ පිරමීඩ තිබෙන්නේ අතිවිශාල කාන්තාරයේ ය. ඒවා ඇහැට පෙනෙයි. ඒවා ඇතුළටත් යා හැකිය. ලංකාවේ පිරමීඩ තිබෙන්නේ මුදල් වෙළෙඳපොළ තුළ ය. ඒවා ඇසට නොපෙනේ. එහෙත් සල්ලි අච්චුගසන මැෂින් මෙන් ඒවා ක්‍රියාත්මක වේ. පිරමීඩයක් යනු අඩියේ සිටින සියලුම දෙනා හිඟන්නන් බවට පත්වී මුදුනේම සිටින එකා ප්‍රකෝටිපතියකු බවට පත් කරන ආයෝජන ක්‍රමයකි. මේ ආයෝජන ක්‍රමය නිසා මුදල් අහිමි කරගත් විශාල පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටිති. එයින් සමහරු සියදිවි නසාගෙන ය. පිරමීඩකාරයන් කොපමණ ඇල්ලුවත්, කොපමණ හිරේ දැම්මත් සාමාන්‍ය ජනයා පසුබට වන්නේ නැත. ඔවුහු හැකි සෑම විටම නීත්‍යනුකූල බැංකු සහ නීත්‍යනුකූල ෆිනෑන්ස් සමාගම් පසුකරගෙන ගොස් පිරමීඩකාරයා අටවා තිබෙන මී කතුරට හසුවෙති. පසුගිය කාලයේ දී පිරමීඩකාරයන් සිය ගණනකගේ නම් හෙළිදරව් විය. තවත් විශාල පිරිසක් හිරේ ගියහ. සක්විති රණසිංහ නමැති අතිදක්‍ෂ ඉංග්‍රීසි ගුරුවරයා මෙවැනි පිරමීඩකාරයෙකි. ඔහු මුලින්ම කළේ ඉගැන්වීම ය. දෙවනුව ඔහු පිරමීඩ ජාවාරමට සෙට් විය. ඒ සම්බන්ධයෙන් තිබූ එක නඩුවකට හිරේ ගිය ඔහු පසුගිය දා නිදහස්ව එළියට පැමිණියේ ය. ඔහුට එරෙහිව තවත් නඩු විශාල ප්‍රමාණයක් තිබේ. සක්විති රණසිංහ කොහේ සිටින්නේ දැයි කවුරුවත් නොදනිති. එහෙත් ඔහු යූ ටියුබ් මාර්ගයෙන් ඉංග්‍රීසි පන්ති පවත්වයි. පසුගියදා සිය නඩුවක සමථකරණ විසඳුම වශයෙන් මසකට ලක්‍ෂ පනහ බැගින් ගෙවීමට ඔහු පොරොන්දු විය. මේ වනවිට ඔහු අතේ ඇත්තේ නැවත වරක් ඉංග්‍රීසි අධ්‍යාපන වෙළෙඳාමෙන් උපයාගත් මුදල් ය. ඔහු නඩුහබ නැති කාලයේ දී කොතරම් මුදලක් උපයන්නට ඇත්දැයි දැන් ඔබට සිතාගත හැකිය. ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා සක්විති තරම් දක්‍ෂ ගුරුවරයෙක් පහළ වී නැති බව අපගේ මතයයි. ඔහු සිය දක්‍ෂතාව පිරමීඩ ජාවාරමට අනුයුක්ත නොකර ඉංග්‍රීසි අධ්‍යාපන වෙළෙඳාම සඳහා පමණක් යොමු කළේ නම් එමගින් රටටත් හොඳය; ඔහුටත් හොඳය.

ඔබ දඬුවම් මුදලාලි ගැන අසා තිබේ ද? දකුණු පළාතේ ජීවත් වූ ධීවරයකු වන හෙතෙම ප්‍රසිද්ධව තිබුණේ ඉරීගිය මාදැල්වලට ගැට දැමීමට ය. මේ ගැට දඬුවම් ගැට ලෙස හඳුන්වනු ලැබේ. දඬුවම් මුදලාලි ධීවර කර්මාන්තයේ යෙදෙන සියදහස් ගණනකගේ විශ්වාසය දිනූ කෙනෙකි. මේ විශ්වාසය පාවිච්චි කළ හෙතෙම ඉතා වැඩි පොලියක් දෙන බවට පොරොන්දු වී තමා කෙරෙහි විශ්වාසය තැබූ අයගෙන් තැන්පත් මුදල් එකතු කරන්නට පටන්ගත්තේ ය. මුදලාලි තම ව්‍යාපාරයේ මුල් හරියේ දී තැන්පතු සඳහා පොරොන්දු පොලිය ගෙව්වේ ය. බැංකුවක් ස්ථිර තැන්පතු සඳහා අවුරුද්දකට 10% ක පොලියක් ගෙවන විට දඬුවම් මුදලාලි මසකට 40%ක පොලියක් සිය ගනුදෙනුකරුවන්ට ගෙව්වේ ය. එය අවුරුද්දට 80% කි. මෙසේ පොලී ගෙවාගෙන යන විට දඬුවම් මුදලාලි එකතැනකදී හිරවිය. ඒ හිරවීම සමාන වන්නේ කුඤ්ඤය ගැලවීමට ගිය වඳුරාගේ වලිගය සහ වෙනත් උපාංග ලෑලි කොටයට සිරවීමට ය. මෙවිට තවදුරටත් පොලී ගෙවා ගැනීමට බැරිව මුදලාලි හැංගුණේ ය. පසුව පොලිසිය මුදලාලි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේ ය. ඇප පිට නිදහස ලබා එළියට ආ මුදලාලි සියලුම තැන්පතුකරුවන්ගේ තැන්පතුත්, පොලීත් ගෙවන බවට පොරොන්දු විය. ඉන් ටික දවසකට පසු මුදලාලි අතුරුදන් විය. මේ අතුරුදන්වීම ගැන මත දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් රටේ ලොකුම දේශපාලන ප්‍රධානියකුගේ පිහිටෙන් ඔහු රට පැන්න බව ය. අනෙක නම් විරුද්ධකාරයන් ඔහු ඝාතනය කළ බවය. එහෙත් දඬුවම් මුදලාලිගේ මළසිරුර අද වනතුරු හමුවී නැත.

නැවතත් අපි මේ කතුවැකිය පටන්ගත් තැනට එමු. ලංකාවේ ජනයා නිතරම මුදල් දෙගුණ තෙගුණ කිරීමට කැමැත්තෙන් සිටී. පිරමීඩ යෝජනා ක්‍රමයක් දැනගත් සැණින් ඔවුහු වහා සිය මුදල් එම යෝජනා ක්‍රමය තුළ තැන්පත් කරති. මේ අතර පිරමීඩවලට අසුනොවන්නැයි කියමින් ආණ්ඩුව පුළුවන් තරම් දැන්වීම් පළ කරයි. මේ කිසිවකින් ඵලක් නැත. ලංකාවේ පිරමීඩ වංචාව එසේම පවතී. ඊජිප්තුවේ ගල් පිරමීඩ කවදා හෝ දවසක කැඩී බිඳී විනාශ වී ගිය ද ලංකාවේ පිරමීඩ කවදාවත් මියයන්නේ නැත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here