ඉස්ලාමීය කඳුළු වෙනුවෙනි…

0
6

ලෝකයේ එක් කලාපයක සිටින මුස්ලිම් ජනතාව කුසගින්නෙන් ද මරණ බයෙන් ද ජීවත්වන කාලයක් උදාවී තිබේ. මේ අතර තවත් කලාපයක සිටින ධනවත් මුස්ලිම් ජනයා රත්තරනින් සෑදූ මෝටර් රථවල ගමන් කරති. ඇතැමෙක් එක කෑම වේලකට රුපියල් ලක්‍ෂ පහක් පමණ වැය කරති. කුසගින්න සහ මරණ භය ඉදිරියේ අඩසිහියෙන් ජීවත් වන ඉස්ලාමීය ජනයා සිටින්නේ ඊශ්‍රායල මායිමේ තිබෙන ගාසා තීරයේ ය. රත්තරන් තහඩුවලින් සෑදූ මෝටර් රථවල ගමන් කරමින් රත්තරනින් සෑදූ කොමෝඩ් සහිත වැසිකිළි පාවිච්චි කරමින් ලෝකයේ මිල අධිකම ප්‍රයිවෙට් ජෙට් තම සන්තකයේ තබා ගනිමින් ජීවත්වන මුස්ලිම් ජනයා සිටින්නේ සෞදිඅරාබිය ඇතුළු අති ධනවත් අරාබි රටවල ය. දුක් විඳින එකා අන්ත දුක්විඳීමත් සැප විඳින එකා සැප බම්ප් වන තරමට සැප විඳීමත් මේ ලෝකයේ පවතින අසාධාරණ ස්වභාවය වේ. ඉස්ලාම් ආගමේ ශ්‍රේෂ්ඨතම වක්තෘවරයාණන් වන මහම්මත්තුමාගේ උපන් දිනය අදට යෙදී තිබේ. මේ උපන් දිනය දා මරණ භයේ ගුලිවී සිටින ඉස්ලාමීය ජනතාව ගැන ලිවීම අපගේ යුතුකම ය. මරණය යනු නියතයකි. එහෙත් එය සිදුවන්නේ කවදා ද යන්න පමණක් අපි නොදනිමු. පලස්තීනයේ ගාසා තීරයේ ජීවත්වන ඉස්ලාමීය ජනයා සිය මරණය නියතයක් බවත් එය ගාසා තීරයේ සිදුවන බවත් හොඳින් දනිති. ඔවුන් නොදන්නේ ද මරණය සිදුවන වෙලාව පමණ ය.

2023 ඔක්තෝබර් 7 වැනිදා පලස්තීනයේ ගාසා තීරය හරහා ඊශ්‍රායලයට ඇතුළු වූ හමාස් සංවිධානයේ ඉස්ලාමීය අන්තවාදීහු පිරිසක් හදිසි ප්‍රහාරයක් එල්ල කළහ. ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කරන්නේ ස්වකීය ප්‍රබලතම වෛරක්කාරයා වන ඊශ්‍රායලයෙන් පළිගැනීම පිණිස ය. මේ ප්‍රහාරයෙන් ඊශ්‍රායලය තුළ ජීවත් වූ 1195 ක් මිය ගියහ. ඔවුන් අතර විදේශික සංචාරකයෝ 815 ක් ද වූහ. මේ සමූහ ඝාතනයෙන් පසු ඊශ්‍රායල් ජාතිකයන් 215 දෙනෙක් වාහනවල පටවාගත් හමාස් ගරිල්ලෝ ඊශ්‍රායල දේශසීමාව හරහා නැවත ගාසා තීරයට ගොස් පෙර කී පිරිස ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගත්හ. එදා පටන් අද වන තෙක් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර දරුණු යුද්ධයක් පවතී. ඊශ්‍රායලයේ දී මරාදමන ලද 1195 දෙනා වෙනුවට පලස්තීන ජාතිකයන් අනූහයදහසකට කිට්ටු සංඛ්‍යාවක් ඝාතනය කිරීමට ඊශ්‍රායල් රජය මේ වනවිට පියවරගෙන ඇත. ඊට අමතරව මෙම සටන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් එකසිය අනූහත්දෙනකු ද ඊශ්‍රායලය විසින් ඝාතනය කරනු ලැබ ඇත. අප විසින් පෙර සඳහන් කරන ලද ඝාතනය කෙරුණු අනූපන්දහසෙන් අඩක්ම කාන්තාවෝ වෙති. ඊට අමතරව කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් ද ඊශ්‍රායලය විසින් මරා දමා ඇත. මේ වෙලාවේ පලස්තීනයේ සහයෝගයට සිටින්නේ ඉරානය සහ යේමනය පමණි. ධනවත් අරාබි රටවල් වැඩිහරියක් පලස්තීනය දිහා ඇහැක් ඇර බලන්නේ නැත. එහෙත් කටාර් රාජ්‍යයේ එමීර්වරයා පමණක් පලස්තීනයට උදව් කරන බව දැනගැනීමට තිබේ. අල්ජසීරා නමැති ප්‍රවෘත්ති සේවය අයත් වන්නේ කටාර් රාජ්‍යයට ය. කටාර් එමීර්වරයා පලස්තීනයේ ජනතාවට පමණක් නොව හමාස් සංවිධානයට ද උදව් කරන බවට රාවයක් පවතී. මේ නිසා බටහිරට ගැති අරාබි රටවල් වැඩිහරියක් කටාර් රාජ්‍යයේ එමීර්වරයා සමග අමනාපයෙන් පසුවෙති. ධනවත් අරාබි රටවල් සියල්ලම පාහේ නටන්නේ ඇමෙරිකාව සහ යුරෝපය සපයනු ලබන තාලයට ය. මේ තාලය විටෙක කෝළමකි. තවත් විටෙක මළබෙරයකි.

හමාස් අන්තවාදීන් ඊශ්‍රායලයට පහරදීම අපි තරයේ හෙළා දකිමු. එහි ප්‍රතිඵලය ඉතාම නරක ය. මේ වනවිට ඊශ්‍රායලය විසින් සමස්ත ගාසා තීරයේම පාලනය සියතට ගනු ලැබ ඇත. ඊශ්‍රායලය කල් බලමින් සිටියේ ද මෙවැනි අවස්ථාවක් උදාවන තුරු ය. ඊශ්‍රායලය යනු ලෝකයේ බලවත්ම රටවල්වලින් එකකි. එහෙත් මේ අල්ලපු වැටේ තිබෙන පලස්තීනය ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සටන් පටන් ගැනීමට පෙර පලස්තීන ජාතිකයෝ දහස් ගණනක් ඊශ්‍රායලයේ රැකියා කර ජීවත් වූහ. උදේට දේශසීමාව හරහා ඊශ්‍රායලයට ඇතුළු වන පලස්තීන මුස්ලිම් ප්‍රජාව ඒ රටේ තිබෙන ගොවිපළවලත් කර්මාන්ත ශාලාවලත් වැඩ කර හවසට ගෙදර ඒමට පුරුදුව සිටියහ. ඊශ්‍රායලය වැඩියෙන්ම කරන්නේ ආයුධ නිෂ්පාදනයයි. එරට සිටින යුදෙව් ජනතාව නව ආයුධ නිෂ්පාදනයට මෙන්ම අලුත් සොයා ගැනීම් සම්බන්ධයෙන් ද දීර්ඝකාලීන ඉතිහාසයකට උරුමකම් කියති. පලස්තීන ශ්‍රමිකයන් ඊශ්‍රායලය තුළ වැඩට යෙදවීමේ දී ඔවුන් කිසිම ආකාරයකින් අවි නිෂ්පාදන ආයතනවලට සම්බන්ධ නොකිරීමට ඊශ්‍රායලය පරෙස්සම් විය. ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර යුද්ධය පටන් ගැනීමත් සමගම දෙරට අතර දේශසීමා වසා දමා තිබේ. මේ නිසා පලස්තීනුවන්ට කුසගින්නේ මියයෑමට සිදුව තිබේ. යුද්ධයට අමතර තවත් හේතුවක් ඇත. එනම් ඔවුන්ට අද රැකියා නැත.

දෙරට අතර යුද්ධය නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා කිහිපයක දී උත්සාහ කළ ද එම තැත සාර්ථක වුණේ නැත. දෙරට අතර සටන් විරාම කිහිපයක් ප්‍රකාශයට පත් කරන ලද නමුදු ඒ සෑම සටන් විරාමයක්ම පළමු පැය දොළහ තුළදීම බිඳවැටිණ. ඊශ්‍රායලයේ අරමුණ වන්නේ ඊශ්‍රායලයට විරුද්ධ අදහස් ඇති පලස්තීන ජාතිකයන් සියලු දෙනා ද මුළුමහත් හමාස් සංවිධානය ද සංහාරය කිරීම ය. එබැවින් මේ යුද්ධය තව අවුරුදු ගණනාවක්ම ඉදිරියට යනවා ඇත. අපි ඉස්ලාමීය අන්තවාදය බැහැර කරමු. යුරෝපයේ මිනිසුන් පැහැරගෙන ගොස් ඔවුන්ගේ ගෙල කපා ඝාතනය කර එම හිස මියගිය එකාගේ පපුව මත තබන වීඩියෝ අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. එහෙත් අන්තවාදයට සම්බන්ධ නැති අහිංසක ඉස්ලාමීයයන්ගේ කඳුළු කෙරෙහි අපට ඇත්තේ විශාල දුකකි. මේ කතුවැකිය ඒ අසරණ ජනයාට උපහාරයක් වේවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here