ඉරාන යුධ නෞකාව ගැන ලංකාවට බලපෑමක් නෑ – ඇමෙරිකාව

0
6

ඉරාන යුධ නෞකා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිලිබඳව ශ්‍රී ලංකාවට බලපෑමක් කිරීමට  කටයුතු නොකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

එම පුවත් සේවය වාර්තා කළේ, එම සිද්ධිය පිලිබඳව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, අමෙරිකාව පිලිගන්නා අතරම එම ස්ථාවරයට ගරු කරන බවයි.

ඉරානයට අයත් IRINS Bushehr නෞකාවේ සහ IRIS Dena නෞකාවේ සිට මුදාගත් ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දේශීය නීතිය හා ජාත්‍යන්තර බැදීම් අනුව අවසන් වශයෙන් තීරණය කළ යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළ බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.

එම පුවත් සේවය පැවසුවේ, අමෙරිකාව මේ සම්බන්ධවෙන් ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සංවාදයක නිරත වන බවයි.

කෙසේ වෙතත් ඉරානයට අයත් නෞකා දෙකෙන් මුදවා ගත් පිරිස යළි ඉරානයට භාර නොදැන්නැයි අමෙරිකාව මෙරට බලධාරීන්ට දැනුම් දී ඇති බවද මීට පෙර රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණි.

එහි වැඩිදුරටත් දැක්වුනේ එම නාවිකයන් පිරිස යොදා ගනිමින් සිය ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමට ඉරානයට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව වග බලාගත යුතු බවයි.

මේ අතර මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාව නිරායුධව සිටි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු ඉන්දු – පැසිෆික් විධානය නිවේදනය කළේ ය.

ඔවුන් ප්‍රකාශ කළේ, ඒ අනුව එය සන්නද්ධ ගැටුම් නීතිය යටතේ වලංගු නිෂ්චිත හමුදා ඉලක්කයක් බවයි.

එම නෞකාව විනාශ කිරීමට බලය යෙදීමට අවසර ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ නෞකාව විනාශ කළ බවත් සන්නද්ධ ගැටුම් නීතියට අනුකූලව දිවි ගලවා ගත් පිරිස් සඳහා ශ්‍රී ලංකාව ජීවිතාරක්ෂක සහාය ලබා දී ඇති බවත් එම කාර්යාලය නිකුත් කළ සටහනේ සඳහන් වේ.

මේ අතර ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට රෝහල්ගතකර ප්‍රතිකාර කර සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ.

පසුගියදා මුදවා ගත් 35 දෙනෙකු ගාල්ල, කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණි.

ඒ අනුව තවත් දස දෙනෙකු මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here