ඉරාන ප්‍රතිප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිදෙනෙකු මරුට

0
3

ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය අද (01) නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 58 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකි.

එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති අභිබවා පැමිණි ඉරාන ඩ්‍රෝන යානා පොළොවට පතිත වීමෙන් මෙම මරණ සිදුව ඇති බව තහවුරු කර ඇත.

ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට බැලස්ටික් මිසයිල 165ක් මුදා හැර ඇති අතර, ඉන් මිසයිල 152ක් ගුවනේදීම විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

ඉතිරි මිසයිල 13 මුහුදට පතිත වී ඇති අතර මීට අමතරව කෲස් මිසයිල දෙකක් ද හඳුනාගෙන විනාශ කර ඇති බව සඳහන් වේ.

ඉරානය විසින් සමස්තයක් ලෙස ඩ්‍රෝන යානා 541ක් ප්‍රහාරයට යොදාගෙන ඇති අතර, ඉන් 506ක් අතරමගදී බිම හෙළා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඩ්‍රෝන යානා 35ක් එමීර් රාජ්‍යයේ භූමිය තුළට පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් ආරක්ෂක පද්ධති උපරිම මට්ටමින් ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here