ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ඔස්ට්‍රේලියා රැකවරණය

0
2

ජාතික ගීතය ගායනා කිරීම ප්‍රතික්ෂේප කරමින් තම මව් රටේ පවතින තත්ත්වයට විරෝධය පෑ ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ඔස්ට්‍රේලියාව විසින් මානුෂීය වීසා බලපත්‍ර ලබා දී තිබේ.

තම රට තුළ එල්ල විය හැකි දේශපාලන පීඩනයන් සහ තර්ජන හේතුවෙන් මෙම ක්‍රීඩිකාවන් පිරිස දේශපාලන රැකවරණ පතා තිබුණි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටි ඉරාන කාන්තා කණ්ඩායම, දකුණු කොරියාවට එරෙහිව පැවති තරගයේදී ඉරාන ජාතික ගීතය ගායනා කිරීමෙන් වැළකී සිටියේය.

මෙය ඉරාන රජයට හිතවාදී මාධ්‍ය විසින් “අගෞරවනීය ක්‍රියාවක්” ලෙස හඳුන්වනු ලැබූ අතර, ඉන් අනතුරුව ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු විය.

ඔස්ට්‍රේලියාව විසින් රැකවරණය ලබාදුන් ක්‍රීඩිකාවන් වන්නේ,

සාරා සර්බාලි අලිෂා (Zahra Sarbali Alishah)

මොනා හමූදි (Mona Hamoudi)

සාරා ගන්බාරි (Zahra Ghanbari)

ෆාතිමා පසන්දිදේ (Fatemeh Pasandideh)

අතේෆේ රමසානිසාදේ (Atefeh Ramezanizadeh)

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින් ප්‍රකාශ කර තිබුණේ මෙම ක්‍රීඩිකාවන් යළි ඉරානයට පිටුවහල් කළහොත් ඔවුන් මරා දැමීමට ඉඩ ඇති බවය. කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවෙන් පසු, ඔස්ට්‍රේලියාව මෙම “සංවේදී තත්ත්වය” ඉතා හොඳින් හසුරුවන බව ඔහු පවසා තිබේ.

අග්‍රාමාත්‍ය ඇල්බනීස් සඳහන් කර ඇත්තේ මෙම නිර්භීත කාන්තාවන්ගේ ඉරණම පිළිබඳව ඔස්ට්‍රේලියානුවන් කම්පනයට පත් වූ බවත්, ඔවුන් මෙහි ආරක්ෂිතව සිටින බවත් ය.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් සඳහා ද ඔස්ට්‍රේලියාවේ සහය විවෘතව පවතින නමුත්, තම පවුල්වල සාමාජිකයන්ට ඉරානය තුළ එල්ල විය හැකි තර්ජන හේතුවෙන් ඇතැම් ක්‍රීඩිකාවන් යළි සිය රට බලා යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පිලිපීනය හමුවේ පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවත් වූ ඉරාන කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ඩුබායි හරහා මෙතෙක් සිය රට බලා යාමට උත්සාහ කළ ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ට අවසර ලබා දී නොමැති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් තුර්කිය හෝ මැලේසියාව හරහා යළි ඉරානයට යාමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

ගෝලීය ක්‍රීඩකයන්ගේ සංගමය වන FIFPRO පවසා ඇත්තේ, ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට රැකවරණය දීම සාධනීය පියවරක් වුවද, ඉතිරි ක්‍රීඩිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව පිළිබඳව තවමත් බරපතළ සැකයක් පවතින බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here