ඉරානය සහ අමෙරිකාව ඇතිකරගත් සටන් විරාමය මධ්‍යයේ ඉරානය අද (8) පස්රුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදමා තිබේ.
දෙපාර්ශ්වය සටන් විරාමය ඇතිකරගැනීමත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට පියවරගෙන තිබුණි.
කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් හෝමූස් හරහා ගමන්ගන්නා නෞකාවලට මෙම තහනම පැනවූ බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව නෞකාවලට හෝමූස් හරහා යාත්‍රා කිරීම තහනම් බවත්, අවසරයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පර්සියානු බොක්කේ නවතා ඇති නෞකාවලට දැඩි ලෙස අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රමුඛ පෙළේ නැව් තැරැව්කාර සමාගමක් වන ‘SSY’ ආයතනයද මේ බව තහවුරු කර තිබේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පර්සියානු බොක්කේ යාත්‍රා කරන නෞකා වෙත රේඩියෝ පණිවුඩ මගින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්ය.
ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්වලට ගමන් කිරීමට ඉඩ ලබා දීමය.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුබද්ධ Fars පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, අද (8) උදෑසන ඉරානයේ අවසරය ඇතිව තෙල් නැව් දෙකක් ගමන් කළද, ඉන් අනතුරුව එම මාර්ගයේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවය.
ඊශ්‍රායලය විසින් ලෙබනයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව අද දැවැන්ත ප්‍රහාරයක් එල්ලකළ අතර, එය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට එල්ලකළ විශාලතම ප්‍රහාරය විය.
මෙම ප්‍රහාරයෙන් මේ වන විට ලෙබනනයේ පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.
එම ප්‍රහාරයත් සමග මේ වනවිට කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
Saru News












