ඉරානය, පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීම අවිනිශ්චිතයි

0
5

පවතින අමෙරිකා – ඉරාන යුදමය වාතාවරණය හමුවේ, තම රටේ ලෝක කුසලාන පාපන්දු තරග අමෙරිකා එක්සත් ජනපදයෙන් බැහැර කර මෙක්සිකෝව වෙත ලබාදෙන්නේ නම් පමණක් ඉරානය මෙවර ලෝක කුසලානයට සහභාගී වන බව එම රටේ ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් තම කණ්ඩායමේ තරග මෙක්සිකෝවට මාරු කරන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය (IFF) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඉරාන ක්‍රීඩා අමාත්‍ය අහමඩ් දොන්යමාලි ප්‍රකාශ කර තිබේ.

පෙබරවාරි 28 වෙනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරම්භ වූ කලාපීය ගැටුම් මෙයට ප්‍රධානතම හේතුවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරාන කණ්ඩායමට අමෙරිකාවට පැමිණිය හැකි වුවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ ජීවිත පිළිබඳ සහතිකයක් දිය නොහැකි බවයි.

“කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ට්‍රම්ප් පවසන්නේ නම්, අප කිසිසේත් අමෙරිකාවට නොයන බව” ඉරාන පාපන්දු ප්‍රධානී මෙහ්දි තාජ් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ප්‍රකාශ කර ඇත්තේ තරග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු නොකරන බවත්, නියමිත ස්ථානවලම තරග පැවැත්වෙන බවත්ය.

ආසියාවෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වන ඉරානය, සිය මූලික වටයේ තරග සියල්ලම අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ජූනි 16: නවසීලන්තයට එරෙහිව (ලොස් ඇන්ජලීස්හිදී)

ජූනි 22: බෙල්ජියමට එරෙහිව (ලොස් ඇන්ජලීස්හිදී)

ජූනි 26: අවසන් කණ්ඩායම් තරගය (සීට්ල්හිදී)

ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තම ක්‍රීඩකයින් පුහුණුවීම් අඛණ්ඩව සිදු කරන නමුත්, අමෙරිකාවට යාම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ නිසි ආරක්ෂක සහතික ලැබීමෙන් පසුව පමණක් බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here