ඉන්ධන ලීටර් ලක්ෂ 15ක් විනාශයි – Saru News | සිංහල

0
2

ශ්‍රී ලංකාවේ ඉන්ධන පරිභෝජනය දිනකට ලීටර් මිලියන 14ක් පමණ අධික ප්‍රමාණයක පවතින අතර එයින් 10% – 12%ත් අතර ප්‍රමාණයක් නිරපරාදේ විනාශ වී යන බව හෙළි වී තිබේ.

මෙම ඉන්ධන විනාශ වී යාම පිළිබඳව මෙය වසර ගණනාවකට පෙර සිට මොරටුව විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ වාර්තා ඇතුළු වාර්තා රැසකින් පෙන්වා දී තිබේ. වාහන තදබදය අධිකවීම, මාර්ග අවහිර වන සේ වාහන ධාවනය කිරීම, මාර්ග අවහිර වන සේ වාහන නවතා තැබීම සහ වාහනවල එන්ජින් අනවශ්‍ය ලෙස පණ ගන්වා තැබීම වැනි හේතු නිසා මෙලෙස ඉන්ධන නාස්තියක් සිදු වන බව හෙළි කර තිබිණි.

පසුගිය 2025 වසරේ දී ඉන්ධන මෙට්‍රික් ටොන් මිලියන 34කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 4කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරනු ලැබීය. මෙම නාස්තිය වහාම නතර කිරීමට පුරවැසියන් සිහි නුවනින් කටයුතු කළ යුතු බව විද්වතුන් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ කර තිබූ සටහනක් පහත දැක්වේ.

ඔබ විසින්ම පදවන වාහනයක් තිබේ නම් මේ අමිහිරි කතාව කියවා බලන්න. ජාතික ආර්ථිකය පිළිබඳව සිතා බලද්දි මේ තොරතුරු ඉතා වැදගත්..!

(මෙය ශ්‍රී ලංකාවට අදාළව රියදුරු අසුන දකුණු පස තිබෙන වාහන සඳහා සකස් කරන ලද මනෝ විද්‍යාත්මක විග්‍රහයකි.)

දකුණු පස රියදුරු අසුන ඇති වාහනයක (RHD), රියදුරා වාහනයේ දකුණු කෙළවරට වන්නට වාඩි වී සිටින නිසා, වාහනයේ වම් පැත්ත පිළිබඳව ඔහුට ඇති අවකාශීය අවබෝධය (Spatial Awareness) දකුණු පසට වඩා තරමක් වෙනස් වේ.

රියදුරෙකු තම වාහනයේ පළල පිළිබඳව තක්සේරුවක් ලබා ගන්නේ තම ඇසට පෙනෙන සීමාවන් සහ මනසින් ගොඩනගා ගත් රූප රාමුවක් (Mental Mapping) හරහාය. දකුණු පස අසුනේ සිටින රියදුරාට වම් පස ඉදිරිපස කෙළවර (Left front fender) පෙනෙන්නේ නැත. එබැවින් බාධකය සහ වාහනය අතර ඇති සැබෑ දුර පිළිබඳව මොළයට ලැබෙන දත්තවල යම් “අවිනිශ්චිතතාවක්” (Uncertainty) පවතී. මෙම අවිනිශ්චිතතාව මඟහරවා ගැනීමට මොළය ගන්නා ආරක්ෂිත පියවර වන්නේ වේගය අඩු කිරීමයි.

ආරක්ෂිත බෆර් කලාපය (The Safety Buffer Zone)

සාමාන්‍ය පර්යේෂණ අනුව, රියදුරෙකු තම වාහනය වටා නොපෙනෙන ආරක්ෂිත කලාපයක් පවත්වා ගනී. බාධකය මෙම කලාපයට ඇතුළු වන විට රියදුරා තුළ ස්වයංක්‍රීයව තැතිගැන්මක් (Reflex) ඇති වේ.

වේගය අනුව දුර වෙනස් වීම: වාහනයේ වේගය වැඩි වන විට මෙම මනෝවිද්‍යාත්මක බෆර් කලාපය පළල් වේ.

සාමාන්‍ය පරතරය: නාගරික මාර්ගවලදී, වම් පස බාධකයක සිට වාහනයට අවම වශයෙන් මීටර් 0.6 සිට 1.0 දක්වා (අඩි 2 – 3) පරතරයක් නොමැති නම්, රියදුරා වේගය අඩු කිරීමට හෝ දකුණට වාහනය කැපීමට පෙළඹේ.

රියදුරා සහ බාධකය අතර ඇති දුර මනිනු ලබන්නේ “කාලය” (Time-to-Collision) පදනම් කරගෙනය. බාධකය වම් පසින් තිබෙන විට, රියදුරාට එය මඟ හැරීමට ඇති හැකියාව පිළිබඳව ඇති විශ්වාසය දකුණු පසට වඩා අඩුය. මෙයට හේතුව රියදුරු වාඩි වී සිටින ස්ථානයේ සිට බාධකයට ඇති “කෝණික බැල්ම” (Parallax error) මගින් දුර වැරදි ලෙස තක්සේරු වීමට ඇති ඉඩකඩයි.

මෙම පරීක්ෂණවලට අනුව වම් පැත්තේ බාධාව ලෙස මාර්ගය අයිනේ නවත්වා ඇති වාහන, නාම පුවරු, පදිකයින්, හෝ එවැනි ඕනෑම දෙයක් විය හැකියි. එවැනි බාධාවක් දකින රියදුරා ආරක්ෂාව සඳහා තම වාහනයේ වේගය අඩු කර ගනී. එක් වාහනයක් වේගය අඩු කළ සැනින් පිටුපසින් එන වාහන ද තම වේගය අඩු කර ගනී. එයින් සිදු වන්නේ නාස්ති දාමයක් හට ගැනීමයි.

ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව සහ ඉන්ධන කාර්යක්ෂමතාව පිළිබඳ දත්ත අනුව, වාහනයක් නියත වේගයකින් ධාවනය වනවාට වඩා බාධක නිසා නිතර වේගය අඩු කර (Braking) නැවත වේගය වැඩි කිරීමේදී (Re-acceleration) වැය වන අමතර ඉන්ධන ප්‍රමාණය 25% සිට 40% දක්වා ඉහළ අගයක් ගන්නා බව සොයා ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වම් පැත්තේ බාධාව සෙසු රටවල්වලට වඩා වැඩි මිස අඩු නම් නොවේ.

වම් පැත්තේ බාධාව පවතින්නේ මීටර් 1.5කට වඩා දුරින් නම් වාහනයේ වේගය අඩු කිරිමට රියදුරා පෙළඹෙන්නේ නැති බව සොයා ගෙන තිබේ.

ගමනාගමනය සඳහා ආනයනය කරන ඉන්ධන ප්‍රමාණයෙන් 15%ක් වම් පැත්තේ බාධාව නිසා නාස්ති වී යන්නේ යැයි සිතමු. එය දැවැන්ත මුදලකි.

මේ නාස්තිය 100%ක් ශූන්‍ය කළ නොහැකි වුවත් යම් තරමක් හෝ අඩු කර ගත හැකිය.

ඒ සඳහා,

1. විශේෂයෙන් A සහ B ශ්‍රේණියේ මාර්ගවල දෙපස වාහන නවතා තැබිම, දැන්වීම් පුවරු තැබිම ආදිය සඳහා ප්‍රධාන මංතීරුවේ සිට මීටර් දෙකක ඉඩක් තැබිය යුතු බවට නීති සම්මත කළ යුතුය. එම නීතිය කඩකරන්නන් හට දැනෙන දඩයක් නියම කිරීමෙන් නිකරුනේ නාස්ති වෙන ජාතික ධනය පිළිබඳව හැඟීමක් සමාජයට ලබා දිය හැකි අතර, එමගින් ආකල්පමය වෙනසක් පුරවැසියන් තුළ නිර්මාණය කළ හැකි වෙනු ඇත. විශේෂයෙන් නගරවල මාර්ගය දෙපස වාහන ගාල් කිරිම වහාම නවතා දැමීම කළ යුතු දෙයකි.

2. නගර නිර්මාණය කිරීමේ දී බස් රථ නැවතුම් සඳහා ප්‍රධාන මංතීරුවෙන් ඇතුලට ගන්නා සැලැස්මක් අනිවාර්ය කළ යුතුයි. පදික වේදිකා ඉදි කළ යුත්තේ වාහන ගමන් කරන මංතීරුවේ සිට මීටර් 2ක පරතරයක් සහිතව ය.

මෙම මනෝ විද්‍යාත්මක හේතුව සොයා ගනිමින් මෙහි සටහන් කළේ නාස්තිය නැවැත්වීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මේ අවස්ථාව තරම් සුදුසු මොහොතක් නැවත උදාවිය නොහැකි බැවිනි.

අවස්ථා සෑම මොහොතකදීම උදා වෙන්නේ නැත. ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුව තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here