
ඊයේ (මැයි 07) දින 95 හැවිරිදි වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ප්‍රමුඛ පිරිසක් විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නම් කර ඇත.
පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන චෝදනාව වන්නේ මෑතකදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර නීතියට පටහැනි බවයි. එමෙන්ම මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව මහජනතාව දැනුවත් කර නොමැති අතර, එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.
වඩාත් සැලකිය යුතු කරුණක් ලෙස, පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට හානි සිදු වී ඇති බවත්, අවබෝධතා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් තැබීමට රජය විසින් ගෙන ඇති පියවර සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්ය.
පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාව මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණයක් ලබා දෙන ලෙසත්, අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.
තවද, සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් අයකර දෙන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා ඇත.
පෙත්සම සම්බන්ධයෙන් විධිමත් විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවමත් දිනයක් නියම කර නොමැත.
Saru FM Media