පකිස්තානයේ සිට ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරය තම රටට එල්ල කළ ප්‍රහාරයක් සේ සලකා ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්තානය නිවේදනය කර තිබේ.
දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් පවතින යුද බලය පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය තබන ලද සවිස්තරාත්මක සටහන උපුටා ගෙන පහත දැක්වේ.
ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකින් පසුව ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වූ උණුසුම් තත්ත්වයේ උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති අතර, ඊයේ (මැයි 6 වන) දින රාත්‍රියේදී ඉන්දියාව විසින් පකිස්ථානයේ සහ එහි පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි.
එම ඉන්දීය ගුවන් ප්‍රහාර සහ දේශසීමා ආශ්‍රිත වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථානය පවසන අතර පකිස්ථාන ප්‍රතිප්‍රහාර වලින් ඉන්දීය පාරිපාලනයට නතු කාශ්මීරයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසයි.
පකිස්ථානය සහ ඉන්දියාව අතර ප්‍රධාන වශයෙන් යුද ගැටුම් තුනක් තිබී ඇති අතර, අවසාන යුද්ධය 1971 දී බංග්ලාදේශය නිර්මාණය වීමට හේතු විය. සිව්වන, වරට කුඩා ගැටුමක් 1999දී කාර්ගිල්හිදී සිදුවූ අතර, එය පළමු වරට දෙරට අතර න්‍යෂ්ටික යුද්ධයක බිය මතු කිරීමට සමත් විය.
ලෝකයේ ආයුධ සහ හමුදා බලය නිරීක්ෂණය කරන Global Firepower වෙබ් අඩවියට අනුව, 2025 දී ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනයට පසුව ඉන්දියාව ලොව බලවත් ම හමුදා බළකාය වනු ඇත.
එම වෙබ් අඩවියට අනුව රට රටවල් සංසන්දනය කිරීමේ ලැයිස්තුවේ රටවල් 145ක් අතරින් පකිස්ථානය පසුවන්නේ 12 වන ස්ථානයේ ය.
භූ පිහිටීම, ආර්ථිකය, දේශීය කර්මාන්ත, ස්වාභාවික සම්පත්, කාර්ය සාධනය සහ පළමු, දෙවන සහ තුන් වන ලෝකයේ රටවල් සමග රටේ සම්බන්ධතාව ඇතුළු විවිධ සාධක 55ක් පදනම් කරගෙන මෙම ලැයිස්තුව සම්පාදනය කර ඇති බව එම ආයතනය පවසයි.
මෙම ලිපියෙන් අපි පකිස්ථානය සහ ඉන්දියාව වැනි න්‍යෂ්ටික බලවතුන්ගේ හමුදාමය ශක්තිය කුමක් දැයි විමසා බැලීමට උත්සහ කළෙමු.
ඉන්දියාවේ සහ පකිස්ථානයේ ආරක්ෂක අයවැය තුළ පැහැදිලි වෙනසක් තිබේ.
ස්වීඩන් බුද්ධි මණ්ඩපයක් වන ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ වාර්තාවකට අනුව, 2024 දී ඉන්දියාව පකිස්ථානයට වඩා නව ගුණයකින් ආරක්ෂාව සඳහා වියදම් කර ඇත.
මෙම වාර්තාවට අනුව, 2025 දී ඉන්දියාව සිය ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 86කට සමාන මුදලක් වැය කිරීමට සැලසුම් කර ඇති අතර, පකිස්ථානය 2024-25 මූල්‍ය වර්ෂය සඳහා සන්නද්ධ හමුදාවන් සඳහා ඩොලර් බිලියන 10කට වඩා වෙන් කර ඇත.
Global Firepower වෙබ් අඩවියට අනුව, ඉන්දියාවේ පාබල හමුදා භටයින් මිලියන 2.2ක්, ගුවන් හමුදා සාමාජිකයින් 310,000ක් සහ නාවික හමුදා සාමාජිකයින් 142,000ක් පමණ සිටියි.
ඉන්දියාව සමග සංසන්දනය කිරීමේදී, පකිස්ථාන යුද හමුදාවේ ආසන්න වශයෙන් පාබල හමුදා සාමාජිකයින් මිලියන 1.31ක්, නාවික හමුදා සෙබළුන් 124,000ක් සහ ගුවන් හමුදා සෙබළුන් 78,000ක් සිටිති.
ලොව සිව් වන විශාලතම ගුවන් හමුදාව ලෙස සැලකෙන ඉන්දීය ගුවන් හමුදාවට පකිස්ථානයට වඩා සංඛ්‍යාත්මක වාසියක් නිසැකව ම ඇත. ඉන්දීය ගුවන් හමුදාවට ගුවන් යානා බලඝන 31ක් ඇත. සෑම බලඝනයකට ම ප්‍රහාරක ජෙට් යානා 17ක් හෝ 18ක් ඇති අතර, ප්‍රතිවාදී පකිස්ථාන ගුවන් හමුදාවට බලඝන 11ක් ඇත.
ග්ලෝබල් ෆයර්පවර් වෙබ් අඩවියේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ඉන්දියාව සතුව ගුවන් යානා 2,229ක් ඇති අතර, පකිස්ථානය සතුව ගුවන් යානා 1,399ක් තිබේ.
Saru FM Media