ඉන්දීය පිරිමි කණ්ඩායමේ ලෙඩේ කාන්තා කණ්ඩායමටත් බෝවෙයි

0
2

ඉන්දියාවෙන් අභියෝගාත්මක ඉලක්කයක්

තරගයට කෘමීන්ගෙන් බාධා

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනා බලාසිටි තරගයක් ඊයේ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ විය. ඒ ඉන්දියා – පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර තරගයයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා අර්බුදයක පැටලී සිටින මොහොතක ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ හැසිරීම ගැන බොහෝ දෙනා කතාබහට ලක්කළ අතර එහිදී ඉන්දියාව අතට අත දීම සහ කුසලානය භාර නොගැනීම වැනි ක්‍රීඩාවට නුසුදුසු ක්‍රියා රැසකට දායකත්වය දැක්වූවා. ඒ අනුව ඊයේ පැවැත්වුණ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ද ඉන්දියා – පකිස්තාන විරසකය මැනවින් පෙන්නුම් කළා. එහිදී සාම්ප්‍රදායික අතට අත දීම් සිදුවූයේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කාන්තා කණ්ඩායමේ නායිකාව තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටයි. ඒ අනුව ඉන්දීය පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළාය.

ආරම්භක පිතිකාරියන් දෙදෙනා වන ප්‍රාතිකා රාවල් සහ ස්මීත්‍රි මන්දනා ඉන්දීය ඉනිම ඇරඹූ අතර සාර්ථක ආරම්භයක් ලබාගත් ඉන්දියාව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සබඳතාවක් එක් කළාය. මන්දනා පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර ලකුණු 23ක් ඇය ඉන්දීය කාන්තා ඉනිමට එක් කළාය. දෙවැනි කඩුල්ලට දැවී ගියේ ප්‍රාතිකා රාවල්ය. ඇය ලකුණු 31ක් ලබා ගත්තේ හතරේ පහරවල් 5ක් සමගිනි.

3 වැනි කඩුල්ල වෙනුවෙන් හර්ලින් ඩියෝල් ලකුණු 46ක් ලබාගත්තේ ඉන්දීය ඉනිම ගොඩනැඟීමේ ඉහළ දායකත්වයක් ලබාදෙමිනි. ඇය අර්ධ ශතකයට තවත් ලකුණු 4ක් ඉතිරිව තිබියදී දැවී ගියේ ඉන්දීය ඉනිම ලකුණු 106ක සීමාවේ නැවැතී සිටියදීය. ඒ වනවිට තරගයේ 15 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙමින් තිබුණි. කිසිම හදිස්සියක් නොමැතිව ඉන්දීය පිතිකාරිනියෝ ලොකු ඉලක්කයක් කරා පියමැන්නේ සියලු දෙනා සාර්ථකව පන්දුවට පහර දෙමිනි.

පාකිස්තාන පන්දු යවන්නියෝ තර්ජනාත්මක පන්දු යැවීමක නිරත නොවුනත් යම් පාලනයකට තරගය නතු කරමින් පන්දු යැව්වාය. හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 19 කට දැවී ගිය අතර ජෙමීමා රොඩ්රිගස් ද ලකුණු 32ක් ලබා

ගනිමින් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අනගි දායකත්වයක් ලබාදුන්නාය.

තරගය අතරතුරදී තරගයට කෘමීන්ගෙන් බාධා ඇතිවූ අතර දෙපිලේම ක්‍රීඩිකාවන් ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ක්‍රීඩාපිටියම දුමායනයට ලක් කළ අතර විනාඩි කිහිපයක් තරගය නවතා තැබීමට සිදුවිය.

කෙසේ වුවද ඉන්දියානු කාන්තාවෝ නියමිත පන්දු වාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 247 ක් ලබාගැනීමට සමත්වූවාය.

ලකුණු සාරාංශය

හර්ලින් ඩියෝල් ලකුණු 46, රීචා ගවුස් ලකුණු 35, ජෙමීමා රොඩ්රිගස් ලකුණු 32, ප්‍රාතිකා රාවල් ලකුණු 31, දීප්ති ශර්මා ලකුණු 25, ස්මීත්‍රි මන්දනා ලකුණු 23, ස්නේහ් රනා ලකුණු 20, හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 19යි.

පන්දු යැවීමේදී ඩියානා බයිග් ලකුණු 69කට කඩුලු 4ක්, ෆාතිමා සනා ලකුණු 38කට කඩුලු 2ක්, සාදියා ඉක්බාල් ලකුණු 47කට කඩුලු 2ක්, රමීන් ශර්මා ලකුණු 39කට 1 කඩුල්ලක් සහ නශ්රා සන්දු ලකුණු 52කට 1 කඩුල්ලක් බිඳහෙළීය.

සුසිල් ජයකොඩි කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here