බෝට්ටු 3කින් නීති විරෝධි ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුතු කිලෝ 2000කට අධික බීඩි කොළ තොගයක් උස්වැටකෙයියාව මුහුදු තීරයේදී ඉකුත් 22දා අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් බෝට්ටු තුනෙන් එක් බෝට්ටුවක් උස්වැටකෙයියාව මුහුදු සීමාව තුළදී අත්අඩංගුවට ගත් බවත්, අනෙක් බෝට්ටු දෙක ඇලකන්ද ප්‍රදේශයේ සිට මීගමුව කලපුව දක්වා දිවෙන හැමිල්ටන් ඇළ මාර්ගයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
උස්වැටකෙයියාව මුහුදු තීරයේදී නීති විරෝධිව ගෙන එමින් තිබූ බීඩි කොළ තොගය සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 34 හැවිරිදි සිංහාරමුල්ල කැලණිය ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය පවසයි.
අනෙක් බෝට්ටු දෙක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් නීති විරෝධිව රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් බෝට්ටුවලම තබා පලාගොස් ඇති බවත්, එම සැකකරුවන් සොයා මේ වනවිට විමර්ශන කටයුතු කරමින් යන බව පොලිසිය පවසයි.
පමුණුගම පොලිස් විශේෂ කාර්යාංශයේ පො.සැ. (66546) ආර්. එම්. නලීන් ධම්මික නිලධාරියාට ලද තොරතුරක් මත පමුණුගම පොලිසියේ ස්ථානාධිපති පො.ප. සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකොට සැකකරු හා භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී පමුණුගම පොලිසියට දුන්ගාල්පිටිය පොලිසියේ නිලධාරීන්ගේද සහාය ලැබී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර පාර්සල් 31ක අසුරා තිබූ බීඩිකොළ කිලෝ 2209ක්, බෝට්ටු 3ක් සහ අශ්ව බල 40 දරන එන්ජින් 3ක්ද වන බව පොලිසිය පවසයි. සැකකරු සහ භාණ්ඩ වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බී. ටී. කොටින්කඩුව – ජාඇල
Saru FM Media









