ඉන්දියානු උප මහාද්වීපයේ ආණ්ඩු පෙරළිය දුර්වල නායකත්වයද ?

0
8

ඉන්දියාවෙන් මතභේදාත්මක ප්‍රකාශයක්…ශ්‍රී ලංකාව නිහඬයි

විදේශ බලපෑම් සාධාරණීකරණය කරන අපූරු න්‍යාය

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් 2015 ජනාධිපතිවරණයට පෙර චීන ව්‍යාපෘති නැවත්වීමට ශ්‍රී ලංකාවට බලපෑම් කළ බව රහසක් නොවේ. චීන කොළඹ වරාය ව්‍යාපෘතිය නැවත්වීමට තමන්ට දෙවරක් කිවූ බවත් කොළඹ වරායේ චීනය සතු පර්යන්තය නැවත ගැනීමට බල කළ බවත් 2015 ආණ්ඩු පෙරළියෙන් පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හෙළිදරව් කළේය. මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට චීනයට එරෙහි ඉන්දීය ප්‍රතිපත්තිය හේතුවූ බවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. කොළඹ ස්ථානගතවී සිටින විදේශීය ආයතන නියෝජිතයන්ට 2017 මැයි මාසයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා 2014/2015 ආණ්ඩු පෙරළිය කිරීමට ඩොවාල් / ඉන්දියාව ඍජුව කළ මැදිහත්වීම මතක් කර දුන්නේය. 2015 දී බලයට පැමිණි යහපාලන නඩය චීන කොළඹ වරාය ව්‍යාපෘතිය නැවතා දැමීය. චීනය යහපාලන ආණ්ඩුවේ අත් අඹරවා කොළඹ වරාය ව්‍යාපෘතිය නැවතත් ක්‍රියාත්මක කිරීමට උත්සුක විය. හම්බන්තොට වරායද ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක් මුදලට 99 වසර බද්ධකට පවරා ගත්තේය. නැවත හම්බන්තොට වරාය අප රටට නැවත මොනයම්ම ආකාරයකින්වත් ලැබෙන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ සැනින් දුන් පළමුවන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී හම්බන්තොට ගිවිසුම නැවත සලකා බැලිය යුතු බවට කළ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සහ චීනය ඉදිරියේ මුහුණ දෙන අභියෝගය තේරුම් ගැනීමට එම සිද්ධිය හොඳටම ප්‍රමාණවත්ය. පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආරක්ෂාව ඇතුළු සංවේදී විෂයන් සම්බන්ධයෙන් ඇතිකර ගනු ලැබූ ගිවිසුම් සහ කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ කොටස් ඇමෙරිකානු ඩොලර් මිලියන 52 කට ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත ව්‍යාපාරයක් විසින් හිමිකර ගැනීම අවධාරණය කරන ගැටලුකාරී තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ /කරන දේශපාලන පක්ෂවල නායකත්වයන්ට කණේ පහරක් එල්ල කර ඇත. ඒ ශ්‍රී ලංකාවේ (2022), බංගලිදේශයේ (2024), සහ නේපාලයේ (2025) සිදුවූ ආණ්ඩු පෙරළි එම රටවල් වල ‘දුර්වල පාලනය’ නිසා සිදුවූ බව ඩොවාල් ප්‍රකාශ කිරීමෙනි.

ව්‍යවස්ථාවෙන් පිට ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පෙරළියට හේතුව එවකට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ‘දුර්වල පාලනය’ බව ඩොවාල් ප්‍රසිද්ධ දේශනයකදී කළ අදහස් දැක්වීම එවකට ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මෙහෙයවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) රජයට පමණක් අදාළ නොවේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ සිට සෑම රජයක්ම අඩු වැඩි වශයෙන් 2022 පුපුරා යෑමට වගකිව යුතුය. නමුත් ඩොවාල් කළ ආකාරයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මීට පෙර කිසිදු ඉන්දීය නිලධාරියකු කර නොමැත.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ 2014 සිට ජාතික ආරක්ෂක උපදේශක ලෙස නොකඩවා කටයුතු කරන ඩොවාල් කළ ආන්දෝලණාත්මක ප්‍රකාශය ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ඉලක්ක කර ඇත. සමස්ත දේශපාලන ව්‍යුහයම අවඥාවට ලක් කර ඇත. මූල්‍ය විනය සහ නීති සම්පාදනයට වගකිවයුතු සහ වගවියයුතු පාර්ලිමේන්තුව පළාත් පාලන ආයතනයක් තත්ත්වයට පත් කර ඇත.

ඔක්තෝම්බර් 31 නව දිල්ලියේදී කළ ඩොවාල් ගේ ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක්/දේශපාලනඥයකු අද වනතුරු (නොවැම්බර් 7) වනතුරු ප්‍රතිචාර දැක්වූයේ නැත.

ශ්‍රී ලංකාව උඩු යටිකුරු කළ ‘අරගලය’ සම්බන්ධයෙන් ඩොවාල්ගේ කියවීම පිළිබඳව 80 දශකයේ සිට ආණ්ඩු බලය හෙබවූ සෑම දේශපාලන පක්ෂයක්ම ලැජ්ජා විය යුතුමය. ඩොවාල් අවධාරණය කළේ නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව දකින ආකාරය බව අමුතුවෙන් කිව යුතු නැත. ඇත්ත වශයෙන්ම ඩොවාල්ගේ ප්‍රකාශය සමස්ත ඉන්දීය ස්ථාවරය බව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තේරුම්ගත යුතුය. නමුත් බංකොළොත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැජ්ජාව හඳුනන්නේ නැත. වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කුමන ආකාරයට අර්ථකථනය කළත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) සමග 2023 දී ගිවිසුම්ගත වූ පරිදි 2028 දී නැවතත් ණය ගෙවීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ශක්තිමත් නැත. ශ්‍රී ලංකාව ණය ගෙවීම නැවත්වූයේ 2022 අප්‍රේල් බව අද බොහෝ දෙනාට අමතකය.

ඩොවාල් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කළත් ඊට වැඩිපුර ඉඩක් ලැබුණේ නැත. එම ප්‍රකාශය කිසිසේත්ම සාකච්ඡාවට භාජනය වූයේ ද නැත. මේ ආකාරයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දීය නායකත්වය පල කර නැත. මෙම ප්‍රකාශය අහඹු සිදුවීමක් නොවේ. දැනට ජීවත්වන ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ඉන්දියාව මෙවැනි ප්‍රකාශයක් නොකළ ආකාරයට සිටිය නොහැකිය. රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව මීට ප්‍රතිචාර දැක්විය යුතුමය. කෙටියෙන් කිවහොත් ශ්‍රී ලංකාවේ පම්පෝරි දේශපාලනය නිරුවත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ‘දුර්වල පාලනයක්’ ඇතිවූ ආකාරය සහ ඊට ඉන්දියාවේ දායකත්වය නොසලකා ඩොවාල් කළ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කිරීමට නොහැකිය. 80 ව දශකයේදී එවකට අග්‍රාමාත්‍යවරිය වූ ගාන්ධි මැතිනිය ශ්‍රී ලංකාවට එරෙහිව ත්‍රස්තවාදී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම රටේ සමස්ත පරිහානියට හේතුවූ බව අවධාරණය කළ යුතුය. ඉන්දීය ත්‍රස්තවාදී ව්‍යාපෘතිය නොසලකා ශ්‍රී ලංකාවේ තත්ත්වය සාකච්ඡා කළ නොහැකි බව දිල්ලියට මතක් කර දීමට පක්ෂ භේද නොතකා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ එකතු විය යුතු නොවේද? ඩොවාල් විශ්වාසයෙන් සහ ගෞරවයෙන් සේවය කරන ඉන්දියාව (කුමන පක්ෂය බලයේ සිටියත්) ශ්‍රී ලංකාව විනාශ කළ බව අමතක කළ නොහැකිය.

ඉන්දියාව 80 දශකයේදී ශ්‍රී ලංකාවේ කළ මැදිහත්වීම එවකට අග්‍රාමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධි ගනු ලැබූ වැරදි තීන්දුවක් බව ඩොවාල්ට පෙර එම තනතුරු හෙබවූ ජේ. එන්. ඩික්ෂිට් (2004 මැයි 23 සිට 2005 ජනවාරි 3) ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස 1985 සිට 1989 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ව්‍යාපෘතිය අධීක්ෂණය කළ, 1991 සිට 1994 දක්වා විදේශ ලේකම් ලෙස කටයුතු කළ ඩික්ෂිට් තම අග්‍රාමාත්‍යවරිය පිළිබඳව කළ තක්සේරුව කිසිවකුට අතුරුදන් කිරීමට නොහැකිය. ඉන්දීය මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ ජීවිත සහ දේපළ විනාශය සහ හානිය පිළිබඳව තවමත් නිවැරදි තොරතුරු නැත. තවමත් යමක් මතක් කර දිය යුතුය.

ඉන්දියානු හමුදා නිලධාරීන්, සෙබළුන් සහ පොලිස් භටයන් 1,500 අසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් අතින් මරණයට පත්විය. තුන්දාහකට අසන්න ප්‍රමාණකට තුවාල සිදුවිය. ඉන්දීය හමුදාව 1990 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවෙන් ඉවත්වූ අතර 1991 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව එවූ කොන්ග්‍රස් පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බයකින් කුඩු පට්ටම් කර දැමීය. ඉන්දීය හමුදාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බත්තරමුල්ලේ ඉදිකළ ස්මාරකය ඉන්දියාව ශ්‍රී ලංකාවේ කළ විනශයට සාක්ෂියකි. ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවේ වගවීම සහ වගකීම පිළිබඳව බෙරිහන් දෙන බොහෝ දෙනකුට ඉන්දියාව කළ විනාශය මතක නැත.

ඉන්දියානු ත්‍රස්තවාදී ව්‍යාපෘතිය ඔවුන්ගේ දේශපාලන පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට ගනු ලැබූ තීරණක් බව ඩික්ෂිට් හෙළිදරව් කර ඇත. එම මෙහෙයුම තුළ ශ්‍රී ලංකාවට පාලනය කර ගත නොහැකි තරමේ ත්‍රස්තවාදී අර්බුදයක් නිර්මාණය කළේ බලහත්කාරයෙන් ඉන්දීය හමුදාව උතුර සහ නැගෙනහිරට එවා ඉන්දීය අධීක්‍ෂණය යටතේ පවත්වන ඡන්දයක් හරහා උතුරු-නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමට බව ප්‍රසිද්ධියේ කීමට රටේ කිසිදු දේශපාලන පක්ෂයකට ශක්තිය නැත.

ඉන්දීය විදේශ සේවය සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඩික්ෂිට් ලිවූ ‘Makers of India’s Foreign Policy( Raja Ram Mohun Roy to Yashwant Sinha’ නමැති කෘතිය ඉන්දීය අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකාව නොසලකා හැරියේය. මෙම පොත එළිදැක්වූයේ හතරවන ඊළාම් යුද්ධය ආරම්භ වීමට පෙරය. සියලු තත්ත්වයන් සහ සිද්ධීන් සලකා බලමින් ඩොවාල් කළ ප්‍රකාශය අධ්‍යයනය කළ යුතුය.

ඩොවාල් සහ මෝදි අතර දැඩි සම්බන්ධතාවයක් ඇත. හිටපු චර පුරුෂයකු වූ ඩොවාල් වසර 12 ක් ජාතික ආරක්ෂක උපදේශක තනතුරු දැරීම අවධාරණය කරන්නේ ඒ සම්බන්ධතාවයයි. අතල් බිහාරි වජ්පායි නායකත්වය දුන් රජය 1998 අග පිහිටුවනු ලැබූ එම තනතුර ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී ඇත. නොනවතින මෝදි පාලනය තුළ ඩොවාල් ජාතික ආරක්ෂක උපදේශක ලෙස හිමිකර ගෙන ඇති තත්ත්වය අතිශය තීරණාත්මකය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය සම්බන්ධයෙන් ඩොවාල් කළ ප්‍රකාශයේ දේශපාලනය කියවීම කුමක්ද?

ඉහළ ඉන්දීය නිලධාරියාගේ මතය ඔහුගේ පෞද්ගලික අදහසක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැක. මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද එය ඉන්දීය රජයේ මතයයි. එසේනම් මහජන ඡන්දයෙන් පත් වූ රජයක් මැතිවරණ ක්‍රියාවලියෙන් තොරව ඉවත් කිරීම ඩොවාල් /ඉන්දියාව සාධාරණීකරණය කර ඇතිද? කලහකාරී තත්ත්වයන් තුළ පන්නා දැමුව දුර්වල ආණ්ඩු ලෙස ඩොවාල් සඳහන් කළ රටවල් ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිය යුතුය. ඩොවාල් කළ ප්‍රකාශය දේශපාලන ත්‍රස්තවාදය දිරිමත් කරන බව අවධාරණය කළ යුතුය. ඉතාමත් පැහැදිලි ලෙස දේශපාලන අරමුණු ඇති විදේශීය සහයෝගය ඇති කලහකාරී කණ්ඩායම් කිසිදු සීමාවකින් තොරව ප්‍රචණ්ඩත්වයට පොළඹවන බව ඩොවාල් නොදන්නවා නොවේ. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකගේ පෙර ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍යය හෙළිදරව් කර ඇති දේවල් සැලකිල්ලට ගනිමින් වත්මන් තත්ත්වය සාකච්ඡා කිරීමේදී එවැනි අදහස් ප්‍රකාශ කිරීමක් කලාපයේ සියලුම රටවලට අනතුරු ඇඟවීමකි.

ඩොවාල් ගේ ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන්ද ඉතාමත් වැදගත්ය. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී ලංකාවේ, බංගලිදේශයේ සහ නේපාලයේ ආණ්ඩු දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් තුළ පලවා හැරීම පිටුපස ඇමෙරිකා එක්සත් ජනපදය සිටිය බවට ඍජු චෝදනා එල්ල වී ඇති පසුබිමකය. බලයෙන් පහකළ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසිනා ඇමෙරිකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අතිශය බරපතළය. තමන් බලයෙන් පහකිරීමට මූලික හේතුව වූයේ ඇමෙරිකාවට අවශ්‍ය වූ බංග්ලාදේශට අයිති උපායමාර්ගික වශයෙන් වැදගත් කුඩා ශාන්ත මාටින් දූපත ඔවුන්ට භාර දීම ප්‍රතික්ෂේප කිරීම බව ඉන්දියාවේ දේශපාලන රැකවරණ පැතූ හසිනා ප්‍රකාශ කර ඇත. එවැනි පසුබිමක ඉහත සඳහන් රටවල ආණ්ඩු පෙරළි සම්පූර්ණයෙන්ම එම රටවල දේශපාලන නායකත්ව වරදින් සිදුවූ බවට ඩොවාල් කළ චෝදනාව ඇමෙරිකාවට වාසිදායකය.

මෝදි බලයට පත්වීමෙන් පසුව ඉන්දියාව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමග ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අද වනවිට ඉහළම තලයට පැමිණ ඇත. පසුගිය සතියේ ඉන්දියාව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමග ඇතිකර ගත් ආරක්ෂක ගිවිසුම් ඊට සාක්ෂි දරයි. ඊශ්‍රායලය සිදුකළ ගාසා සංහාරය ඉන්දියාව ප්‍රශ්නයක් කර ගත්තේ නැත. පුටින් ගේ රුසියාවෙන් තවමත් ඉන්දියාව බොරතෙල් මිලදී ගනු ලැබුවත්, එම තත්ත්වය ඇමෙරිකාවේ අසතුටට හේතු වුවත් මෝදි වොෂින්ටනය සමග කඳවුරු බැඳ ඇත. ඒ භූමියේ තත්ත්වයයි. එවැනි පසුබිමක, කලාපීය ඉන්දීය ප්‍රතිපත්තිය විමසා බැලිය යුතුය.

මෙහිදී මතුවන නැතහොත් මතුකළ හැකි ප්‍රධාන කරුණක් වන්නේ ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ නේපාලය සම්බන්ධයෙන් ඇමෙරිකානු න්‍යාය පත්‍රයට නිහඬ ඉන්දීය සහයෝගයක් ලැබී තිබේද යන ප්‍රශ්නයයි. චීනයට එරෙහි ඇමෙරිකා-ඉන්දීය ව්‍යාපෘතිය තුළ (ඔස්ට්‍රේලියාව සහ ජපානයද එම ව්‍යාපෘතියේ කොටස්කරුවන්ය) නිහඬ ඉන්දීය ප්‍රතිපත්තිය තේරුම්ගත හැකිය.

අනෙකුත් ශ්‍රී ලංකා නායකයන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂද 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව තමන්ගේ පළමුවන නිල විදේශ සංචාරය ඉන්දියාවේ කළේය. නමුත් 2022 ‘අරගලය’ පුපුරා ගිය මොහොතේ ගෝඨාභය රාජපක්ෂට තාවකාලිකව රැකවරණ සැපයීමට ඉන්දියාව ඉදිරිපත් නොවීය. ජෝ බයිඩන් පාලනය ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඇමෙරිකාවට පැමිණීමට අවස්ථාව දුන්නේ නැත. ඒ ඔහුගේ පාලනය ‘දුර්වල’ නිසා විය නොහැක.

උණුසුම් වෙමින් පවතින ඉන්දියානු දේශපාලන භූමියේ කලහකාරී ව්‍යාපාරයකට ඇති අවස්ථාව ඩොවාල් අමතක කර ඇත. විපක්ෂ සහ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මේ වසරේ නේපාලයේ සිදුවූ ආකාරයේ මෙහෙයුමක් ඉන්දියාව තුළ දිරිමත් කිරීමට දැඩි උත්සහයක් ගන්නා බව පැහැදිලිය. බලයේ සිටින භාරතීය ජනතා පක්ෂය සහ ඉන්දීය මැතිවරණ කොමිසම එක්වී ප්‍රාන්ත සහ ජාතික මට්ටමින් මැතිවරණ කොල්ල කෑ බවට

ගාන්ධි නැවතත් පසුගිය නොවැම්බර් 5 වන දින නවදිල්ලියේදී චෝදනා කළේය. කොංග්‍රස් චෝදනා සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩු පක්ෂය අවධාරණය කර ඇත්තේ ගාන්ධි ඉන්දියාව අපකීර්තියට පත් කිරීමට උත්සහ කරන බවයි.

මොනයම්ම තත්ත්වයක් යටතේ වුවත් දැඩි කලහකාරී තත්ත්වයන් තුළ ආණ්ඩු වෙනස් කිරීම සාධාරණීකරණය කළ නොහැක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට ක්‍රියාත්මක කළ මෙහෙයුමට සැබෑ ජනතා සහයෝගයක් ලැබිණි. ජනතාව ‘අරගලයට’ ආකර්ෂණය වූයේ රට බන්කොළොත්වීම තුළ සමස්ත සැපයුම් ජාලය කඩා වැටී අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අහිමි වීම පසුබිමේය. විදේශ බලවේග එම තත්ත්වය අවියක් ලෙස පාවිච්චි කළේය.

‘අරගලය’ උච්ඡතම අවස්ථාවට පැමිණි විට ජවිපෙ නායකත්වයෙන් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට දියත් කළ මෙහෙයුම සාර්ථක වූවානම් රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස 2022 ජුලි මාසයේදී පත්වන්නේ නැත. එලෙසෙම 2024 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමේ අවස්ථාවද අහිමි වන බවට සැකයක් නැත. ශ්‍රී ලංකාවේ ඉරණම කුමක් විය හැකිද?

අරගලයෙන් පසුව පැවැත්වූ ජාතික මැතිවරණ දෙක ඉහළින්ම ජයගත් ජාතික ජනබලවේගය (ජාජබ) ආණ්ඩුව පිළිබඳව ඉන්දියාවේ තක්සේරුව නැතහොත් ඇගයුම කුමක්ද? ඊට පෙර තිබූ ආණ්ඩුව සම්බන්ධයෙන් ඩොවාල් කළ ප්‍රකාශය තවමත් ශ්‍රී ලංකාවට අදාළද? ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය කඩාවැටීම තුළ ඒකපාර්ශ්විකව ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණය ජනතාවට පුදුමයට පත් කළත් ප්‍රධාන රටවල් සියල්ල භූමියේ සැබෑ තත්ත්වය දැන සිටියේය. ඩොවාල් පසුගියදා අවධාරණය කළ පරිදි එවකට තිබූ ආණ්ඩුවේ දුර්වල පාලනය හේතුවෙන් ආර්ථිකය බිඳ වැටී තිබූ බව නවදිල්ලියට කිසිසේත්ම රහසක් නොවීය.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස 2021 ජුලි මාසයේ පත්කිරීම අතිශය ආන්දෝලණාත්මක විය. වේගයෙන් වර්ධනය වෙමින් පැවති දේශපාලන-ආර්ථික-සමාජීය අර්බූදයට පිලියමක් ලෙස කුමන්ත්‍රණකාරී ලෙස ජාතික ලැයිස්තුවෙන් බැසිල් රාජපක්ෂ පාර්මේන්තුවට පත්කර මුදල් අමාත්‍ය ධුරයට පත්කිරීම අතීසාරයට අමුඩ ගැසීමක් ලෙස පෙන්වා දිය හැක. මුදල් අමාත්‍ය ධුරය භාර

ගැනීමෙන් පසුව බැසිල් රාජපක්ෂ එම වසරේ දෙසැම්බර් මාසයේ පළමුවන සතියේ දී ඉන්දියාවේ මුදල්, විදේශ සහ ඉන්ධන සහ ගෑස් අමාත්‍යවරුන් හමුවිය. එම සාකච්ඡා සියල්ලට එවකට ඉන්දියාවේ සිටි මහකොමසාරිස් මිලින්ද සහභාගි වූ අතර අමාත්‍යවරයාට අමුතුවෙන් දෙයක් තිබුණේ නැත. ඉහත සඳහන් කළ ඉන්දීය අමාත්‍යවරුන්ට අමතරව ඔහු මුණගැසුනේ ඩොවාල්ය.

ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ දින තුනක සංචාරයක් කළ විපක්ෂ නායක සහ සමගි බලවේගයේ ප්‍රධානි සජිත් ප්‍රේමදාස දැනුවත්ව සිටියාද ? ආන්දෝලණාත්මක ඩොවාල් ප්‍රකාශයේ උණුසුම නැතිවීමට පෙර මෝදි ආණ්ඩුවේ ආරාධනයෙන් නවදිල්ලියට ගිය එතුමාට එම ප්‍රකාශය පිළිබඳව ඍජු අදහසක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබිණි. ඒ WION මාධ්‍ය ආයතනය ප්‍රේමදාස සමග කළ පුළුල් සාකච්ඡාව තුළදී සිධාන්ත් සිබාල් නමැති මාධ්‍යවේදිනිය ඉන්දියානු උප මහාද්වීපයට අයත් කලාපයේ සිදුවූ ආණ්ඩු පලවා හැරීම පිළිබඳව විමසා සිටිය අවස්ථාවේදීය. මාධ්‍යවේදිනිය කිසිදු රටක් නම් කිරීමෙන් වැළකී සිටි අතර සජබ නායක ප්‍රධාන වශයෙන් ලංකාවේ උද්ගතවූ තත්ත්වය අවධාරණය කළේය. සමස්තයක් ලෙස සජබ නායක 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සහ කොවිඩ් 19 ඇති කළ කඩාවැටීම තුළ ලංකාවේ ඇතිවූ තත්ත්වය සාකච්ඡා කළේය. නමුත් පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කලත් රට බංකොළොත් වීමට පසුගිය දශක ගණනාව තුළ අනුගමනය කළ ඔලමොට්ටල ප්‍රතිපත්තීන් හේතු වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ගාලු මුවදොර ‘අරගලකරුවන්’ මාරාවේශයෙන් 2022 මැයි 9 දින තමන් පසුපස එලවූ ආකාරය ඔහුට අමතක විය. එදිනම පොහොට්ටු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල නිට්ටඹුවේදී දෙනෝදාහක් මැද ඝාතනය කිරීම ද අමතක විය. ඩොවාල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙනුත් යම් අදහසක් ප්‍රකාශ කළා නම් වඩාත් හොඳය.

ත්‍රස්තවාදය පරාජය කළ පසුව රට මුහුණ දෙන අභියෝග පාර්ලිමේන්තුව තේරුම්ගත යුතුය. රටේ අවාසනාවට එවැනි පාර්ලිමේන්තුවක් අපට නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here