දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
තෙවන වරටත් දියවඩන නිලමේ ධුරයට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා බිරිඳ හා දරු දෙදෙනා සමඟ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි අයුරු.
පැවැති දුෂ්කර කාලය නිමා කරමින් ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන නිසි කළමනාකරණයට ලක්කිරීම ඔස්සේ 2024 මැයි වනවිට රුපියල් බිලියනයක ඉලක්කය සපුරා ගැනීමට හැකිවූ බවත් ඉදිරි දස වසරක කාලය තුළ එය තවදුරටත් වර්ධනය කර ගනිමින් දළදා මාලිගාවේ උන්නතියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
ඉදිරි දස වසර තුළ ශාසනික උන්නතිය හා සමාජ සුබසාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද හෙතෙම කියා සිටියේය.
පළමු වරට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස 2005 වසරේදී පත්වන විට දෛනිකව දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා පැමිණියේ 2500 ක පමණ බැතිමතුන් සංඛ්‍යාවක් බවත් මේ වනවිට එම සංඛ්‍යාව 15000 ක් දක්වා ඉහළ නැංවීමට හැකිවී තිබෙන බවත් ඒ මහතා කීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට තෙවැනි වරටත් පත්වීමෙන් අනතුරුව පෙරේදා (08දා) පැවැති මාධ්‍ය හමුවකදී නිලංග දෑල මහතා මේ බව පැවසුවේය.
විදේශ සංචාරකයන් 1500 ක පමණ පිරිසක් දෛනිකව දළදා මැඳුරට පැමිණෙන බව ද ඒ මහතා කීවේය. ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා ලෙස නිලංග දෑල මහතා පසුගිය 07 දා තේරී පත්වූයේ වැඩි ඡන්ද 145ක් ලබා ගනිමිනි. ගිහි බෞද්ධයන්ගේ නායකයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පසුගිය 07 දා සෙංකඩගල බෞද්ධ මන්දිරයේ පැවැති රැස්වීමේදී දමින්ද උඩුරාවණ මහතාට ඡන්ද 50 ක්ද අයි. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක මහතාට ඡන්ද 13ක් ද හිමි විය.
තෙවන වරටත් දියවඩන නිලමේ ධුරයට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා මාධ්‍ය හමුවේදී මෙසේ ද පැවසුවේය.
මම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස 2005 දී මුල්වරට පත්ව එනවිට නිශ්චල ඡායාරූපයක් ගන්න අවශ්‍ය කැමරාවක් මාලිගාවේ තිබුණේ නැහැ. අද දළදා මාලිගාව සතුව සියලු පහසුකම්වලින් සමන්විත මාධ්‍ය කාර්යාංශයක් තිබෙනවා. දළදා මාලිගාවේ වෙබ් අඩවිය තිබුණේ පෞද්ගලික අංශය සතුවයි. අද ලොව පුරා මිලියන 100ක පමණ පිරිසක් දළදා මාලිගාවේ වෙබ් අඩවිය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර සජීවීව නරඹනවා.
වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථාන අතරින් 2013 දී ශ්‍රී දළදා මාලිගාව ලෝකයෙන්ම පළමු තැනට පැමිණියේ ටජ්මහල දෙවැනි තැනට පත් කරමින්. සාර්ථක වසර 10 කින් පසු 2015 දී මා යළිත් දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට පත් වුණා. අපේ සාර්ථකම වසර ලෙස 2018 අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඒ වසරේදී අපේ ආදායම විශාල ලෙස ඉහළ ගියා. ඒත් සමග පාස්කු ප්‍රහාරය එල්ල වුණා. ඉන් පසු යම්තම් හිසඔසවද්දී කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න සිදුවුණා. රට සෑහෙන කාලයක් වසා තිබීම නිසා දළදා මාලිගාවට පැමිණෙන පිරිස අඩු වුණා. චාරිත්‍ර පෙර පරිදිම ඉටු කරමින් අභියෝග මධ්‍යයේ සේවක වැටුප් පෙර පරිදිම ගෙව්වා.
ඒ අසීරු කාලපරිච්ඡේදයෙන් පසු නැවත හරියට වැඩක් කරන්න පසුබිම සකස් වුණේ 2023 ඔක්තෝබර් මාසයේ සිටයි. එතැන් සිට ගෙවුණු වසර දෙකේ දී අපට දැවැන්ත සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වුණා. උඩරට රාජධානි සමය නිරූපිත ඉටි රූප කෞතුකාගාරය විවෘත කරන්න අපට අවස්ථාව ලැබුණා.
සමන්ති වීරසේකර
Saru FM Media







