ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්නෙන් දකුණු කොරියාවට බලපෑම්

0
10


දරුණු ලැව් ගින්නකින් දකුණු කොරියාවට බලපෑම් එල්ල වී තිබෙනවා.

එරට වැඩබලන ජනාධිපති හැන් ඩක් – සූ පවසන්නේ මෙම ගින්න සිය ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්න වනු ඇති බවයි. වනාන්තර හෙක්ටයාර 17,000ක් පමණ දැනටමත් විනාශ වී තිබෙනවා. 

දකුණු කොරියාවේ ගිනිකොණ දෙසින් මෙම ලැව්ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවද නවතම වාර්තාවල සඳහන්.

මේ වන විටත් ගින්නෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පුද්ගලයින් 23,000කට වැඩි පිරිසක් දැනටමත් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

වසර 1,300ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් ඇතුළුව එරට පෞරාණික සංස්කෘතික ස්ථාන කිහිපයක් ද ලැව්ගින්න හේතුවෙන් විනාශ වී තිබෙනවා.

උයිසොං නගරයේ ඇති වූ ගින්නෙන් විශාලතම ආගමික සිද්ධස්ථානවලින් එකක් වූ ක්‍රිස්තු වර්ෂ 618 දී ඉදිකරන ලද ගවුන්සා දේවාලය ද ඒ අතරට අයත්.

වර්ෂ 1392-1910 අතර කාලයට අයත් ජොසොන් රාජවංශයේ ජාතික වස්තුවක් ලෙස සැලකෙන බෞද්ධ ගෘහ නිර්මාණ ව්‍යුහයක් ද විනාශ වූ බවයි දකුණු කොරියාවේ වන සංරක්ෂණ බලධාරීන් තහවුරු කර ඇත්තේ.

ගින්න පාලනයට ගිනි නිවන භටයින් දහස් ගණනක් සහ හමුදා නිලධාරීන් 5,000 ක් පමණ ස්ථානගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකානු හමුදාවේ හෙලිකොප්ටර් ද ගින්න නිවීම සඳහා යොදවා තිබෙනවා.

දකුණු කොරියාවේ ලැව්ගිනි ඇතිවීම දුර්ලභ සිද්ධියක්. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here