2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල්, ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව කටයුතුවලට වියදම් කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් සිදු කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට පමුණුවනු ලැබුවා.
ඒ අනුව සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා. ඉන් අනතුරුව පැමිණිල්ල ජූනි මස 24 වනදා කැඳවීමටද නියම කළා.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ 2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා නුගේගොඩ රත්තන පිටියේ සිට බෙල්ලන්විල දක්වා ක්‍රියාත්මක කරන ලද වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා උත්සවයක් පවත්වා ඇති බවයි.
එම විවෘත කිරීමේ උත්සවය මෙහෙයවීමේ කටයුතු භාතිය ජයකොඩි නමති අයෙකුට අයත් “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නැමැති ආයතනයකට සැකකාර හිටපු සභාපතිවරයා විසින් භාරදී ඇති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් එහිදී රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවත් එහිදී සඳහන් කළා.
ඊට අමතරව අදාළ ආයතනයට වාසියක් සලසා දීමේ අරමුණින් සැකකරු මෙම කාර්යය සිදුකර ඇති බවත් ඒ සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවත් අල්ලස් කොමිසම පැවසුවා.
මේ හරහා රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් එහිදී සඳහන් කර සිටියා.
පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
මේ අතර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාරගත කිරීමට නියම වී තිබෙනවා.
Saru FM Media