‘ඇලීම්’ සහ ‘ගැටීම්’ ගැන හොඳින් සිහිනුවණ ඇති ඇතිකර ගන්න

0
6

පින්වත, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල වෙලා, උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වඳ බහින කොට, එම අසරණ ජීවිතවල උපදින්නේ උතුම් ශ්‍රී සද්ධර්මය විකෘති කිරීමේ අසත්පුරුෂ ආශාවයි. පින්වත, භික්ෂුවට වැඩිහිටි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමකගෙන් ආරංචි වුණා, විදේශීය රටක දී ශාසන විරෝධී නව නිකායක් අදාළ රට තුළ දී ලියාපදිංචි කොට ගත්තාය කියලා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම විනය නොහඳුනන, සංඝ සමාජයේ සමගියට ගරු නොකරන, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන අකීකරු ජීවිත, නූතන මානව හිමිකම් යැයි කියන මාර ධර්මයේ සරණ යමින්, උතුම් තෙරුවන්ට අභියෝග කිරීම අවිද්‍යාවේ අලුත් ම සෙල්ලම වෙලා තිබෙනවා.

පින්වත, අනාගතයේ දී, මානව හිමිකම් කියන මාර ධර්මය මුලට දමාගෙන උතුම් ධර්ම විනයට පටහැණිව නපුංසක පුද්ගලයන් පවා පැවිදි කරන්න පුළුවන්. පින්වත, මානව හිමිකම් කියන මාර ධර්මය මුලට දමාගෙන අනාගතයේ දී, අසත්පුරුෂ පැවිදි පුද්ගලයෝ විවාහ වීමේ, වාහන පැදවීමේ අයිතිය ඉල්ලා සිටින්න පුළුවන්. පින්වත, දේවදත්ත හාමුදුරුවෝ සම්මා සම්බුද්ධ ශාසනය තුළ අලුත් නිකායක් පිහිටුවා ගන්න ගිහිල්ලා, අවසානයේ නතර වුණේ සංඝභේද අකුසලය සමගින් අවීචි මහා නිරයේයි. පින්වත, ලෝකය තුළ කලඑළිබහින අලුත් අධර්මවාදී ප්‍රවණතාවයෝ යැයි කියන්නේ අවිද්‍යාවේ තීව්‍රභාවයෙන් උපදින, පටිච්චසමුප්පන්න මිථ්‍යා දෘෂ්ටික පුරුදු පුහුණුවල රුවගුණ බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, මාර ධර්මයන්ගේ කලබල කිරීම් ඉදිරියේ, සත්පුරුෂ ඔබේ නොකැළඹෙන උතුම් ධර්ම විනයේ ශක්තියමයි, ශාසනයේ ආරක්‍ෂකයා කොටගත යුත්තේ. පින්වත, අධර්මය ඉදිරියේ ධර්ම විනය ගැන පමණක් විශ්වාසය තබන්න දක්‍ෂ වෙන්න.

පින්වත, ඔබට දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙන්න අවශ්‍ය නම්, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය ලැබෙන තෙක් බලා සිටින්න එපා. පින්වත, දුර්ලභ ශාස්තෘන් වහන්සේ නමක්, දුර්ලභ චතුරාර්ය සත්‍යය දහමක් ඔබට ලැබිලා තිබෙනවා. පින්වත, ඔබට මේ මනුෂ්‍ය ජීවිතයේ දී ම, දිව්‍ය අත්දැකීම් ලබන්න අවශ්‍ය නම්, පවට ලජ්ජාව, බිය ඇති කොට ගන්න. පින්වත, සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය පින්වත් ඔබව මනුෂ්‍ය දෙවියෙක්, දිව්‍යාංගනාවක් බවට පත් කරනවා. පින්වත, තම පින්වත් මනුෂ්‍ය ජීවිතවල ඉහත දේව ධර්මයන් නැති නම්, එවැනි පින්වතුන්ලාට දෙවියන් සහ දිව්‍ය ලෝක ගැන විශ්වාසයක් නැහැ. පින්වත, අවිද්‍යාවෙන් පිරුණ ලෝකය සමග තර්ක විතර්ක සහ ගැටෙන්න යන්න එපා.

යම් පින්වතෙක් දෙවියන් හෝ දිව්‍ය තල විශ්වාස නොකරන්නේ නම්, ඉන් අදහස් වන්නේ එම පින්වතා මනුෂ්‍ය දෙවියෙක් නොවන බවයි. පින්වත, ඔබ කැමති ද මනුෂ්‍ය බ්‍රහ්මයෙක් වෙන්න? පින්වත් ඔබට මනුෂ්‍ය බ්‍රහ්මයෙක් වෙන්න අවශ්‍ය නම්, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, සතියෙන් සහ සමාධියෙන් පෝෂණය වූ ධ්‍යාන සම්පත් ඇති කොට ගන්න. පින්වත, ඉනුත් ඉදිරියට ගිහිල්ලා විදර්ශනාමය සම්පත් ඇති කොට ගන්න. එවිට ඔබ රූපාවචර, අරූපාවචර සහ අනාගාමී බ්‍රහ්ම තලයන් කෙරෙහි සැකයක්, විචිකිච්ඡාවක් ඇති කොට ගන්නේ නැහැ. පින්වත, එවිට පින්වත් ඔබ මනුෂ්‍ය බ්‍රහ්මයෙක් වෙනවා. පින්වත, යම් පින්වතෙක් තුළ බ්‍රහ්ම ලෝකයන් ගැන විශ්වාසයක් නැති නම්, එය හේතුඵල ධර්මයක් මයි. එම හේතුඵල ධර්මය තමයි, එම පින්වතා මනුෂ්‍ය බ්‍රහ්ම ගුණයන් පුහුණු කරලා නැහැ. එම නිසා ම, ඔහු බ්‍රහ්ම සඤ්ඤාවෝ හඳුනන්නේ නැහැ. පින්වත, සමාධිමත් සිතින් ලෝකය දකිද්දී, ලෝකය හරිම නිරවුල්, හේතුඵල ධර්මයෝමයි පසක් කොට දෙන්නේ.

පින්වත, ඔබ මනුෂ්‍ය දෙවියෙක් හෝ මනුෂ්‍ය බ්‍රහ්මයෙක් නම්, පින්වත් ඔබ තුළ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තිබෙන්න ම ඕනේ. පින්වත, කුසල් මූලයන්ගේ ශක්තිය සහ පවට ලජ්ජාව, බිය, පින්වත, මේ සියල්ල ලස්සනට ඔබේ ජීවිතයට මුහු වෙන කොට, ඔබේ ජීවිතය ආලෝකවත් වෙන්නේ සම්මා සමාධියෙන් මයි. පින්වත, උතුම් සම්මා සමාධිය අපේ පියවි ඇසට නොපෙනෙන උතුම් මනුෂ්‍ය ධර්මයෝ, අපේ ප්‍රඥාවේ ඇසට පෙන්වනවා. පින්වත, යම් පින්වතෙක් කියනවා නම්, “දිව්‍ය තල නැහැ, දෙවියන් නැහැ” ය කියලා, අනේ සාධු! සාධු! ඉන් අදහස් වන්නේ එම පින්වතාගේ පංච නීවරණයන්ගෙන් අඳුරු අවිද්‍යාවේ ගොරහැඬිභාවය මයි. පින්වත, ලෝකයේ අවිද්‍යාවේ බර වැඩියි. එම නිසා ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය අනාරක්‍ෂිතයි. පින්වත, අනාරක්‍ෂිත ලෝකය තුළ හොඳ සහ නරක දෙස මෛත්‍රියෙන් ම බලන්න. පින්වත, එවිට මෛත්‍රියේ ආනිශංස එකොළහකින් ඔබේ ජීවිතය ආරක්‍ෂිත වෙනවා. පින්වත, මෛත්‍රී සමාධිය ඇලීම් සහ ගැටීම්වලින් තොර උපේක්‍ෂාවට ඔබව පත් කරනවා. පින්වත, දෙවියෙක් වෙන්න, දිව්‍ය ලෝකයට පටිච්චසමුප්පන්නව යන්න ප්‍රාර්ථනා කරන්න එපා. පින්වත් ඔබ මනුෂ්‍ය දෙවියෙක් වෙන්න. පින්වත, රූපාවචර, අරූපාවචර සහ අනාගාමී බ්‍රහ්ම තලවල පටිච්චසමුප්පන්නව උපදින්න ප්‍රාර්ථනා කරන්න එපා. පින්වත් ඔබ මනුෂ්‍ය බ්‍රහ්මයෙක් වෙන්න. පින්වත, ඔබ මනුෂ්‍ය දෙවියෙක්, බ්‍රහ්මයෙක් නම්, ඔබ එම ධර්මතාවයෝ විදර්ශනාවෙන් දකින්න දක්‍ෂ නම්, ඔබට යළි දිව්‍ය තල හෝ බ්‍රහ්ම තල කෙරෙහි තෘෂ්ණාවේ උපාදානයෝ හට ගන්නේ නැහැ. පින්වත, එවිට ඔබට පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතයේ දී ම උතුම් භව නිරෝධයෙන් සැනසෙන්න. පින්වත, ස්වාක්ඛාත වූ සද්ධර්මය හරිම නිරවුල්, අවිද්‍යාව අපිව පංච නීවරණයන්ගෙන් පටලනවා.

පින්වත, ඔබට යකෙක් හෝ යක්‍ෂණියක් දකින්න අවශ්‍ය නම්, ඔබ චුතූපපාත ඥානය හෝ පුබ්බේනිවාසානුස්සති ඥානය ඇති කොට ගත යුතු වෙනවා. පින්වත, එම ලෞකික ඥානයන්ගෙන් අපි තවමත් ප්‍රමාදියි. පින්වත, ඔබට හොඳට කේන්ති ගිය වෙලාවක, ඔබව ක්‍රෝධයෙන්, වෛරයෙන් නළියන අවස්ථාවක ඔබ, ඔබ දෙස බලන්න. ඔබට යකෙක්, යක්‍ෂණියක් ඔබ තුළින් ම දකින්න පුළුවන්. පින්වත, ඔබ තුළ දේපළ, ඉඩකඩම්, මිල මුදල්, රන් රිදී, යාන වාහන සහ ආහාර කෙරෙහි දැඩි මසුරු සිතක්, ලෝභ සිතක් හෝ දන් දීම වළකන දැඩි මසුරු සිතක් ඇති වෙන මොහොතක ඔබ, ඔබ තුළින් ම ප්‍රේතයෙක් හෝ ප්‍රේතියක් දකින්න දක්‍ෂ වෙන්න.

පින්වත, මහා සාගරය සහ මහා සාගරයේ ආස්වාදයට ලෝභ සිත් ඇති වෙන මොහොතක, සෑම සති අන්තයක ම මහා සාගරයේ ජල ක්‍රීඩා කරන්න තෘෂ්ණාවේ උපාදානයෝ ඇති වන මොහොතක පින්වත් ඔබ, ඔබ තුළින් ම අසුර ජීවිතයක් දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන, අකුසලයට, දුශ්ශීලභාවයට ප්‍රිය කරන ජීවිතයක් තුළින්, තිරිසන් ලෝකය දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, වෛරයෙන්, ක්‍රෝධයෙන්, පළිගැනීමෙන් වියරු වැටුණ ජීවිත තුළින්, නිරයේ නිරිසතෙක් දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, සංසාර බිය, සංසාර දුක මතු කොට ගැනීමට ඉහත දැක්ම ඔබට අර්ථවත් කමටහන් වෙනවා. පින්වත, අකුසල් මූලයෝ සහ දුශ්ශීලභාවයෝ වරදක් හැටියට නොදකිනවා නම්, කෙසේ නම් යමෙක් අකුසලයෙන් මිදෙන්න ද? “පින්වත, ඔබට වරදින් මිදෙන්න වීර්යය මඳ නම්, කරුණාකර වරද වරදක් හැටියට දකින්න සිහිනුවණ ඇති කොට ගන්න දක්‍ෂ වෙන්න. එවිට අනාගතයේ යම් දිනයක වරදින් මිදෙන්න ඔබට හැකි වේ” යැයි සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

පින්වත, සංස්කාර අධිකරණය හරිම සාධාරණයි. පින්වත, සංස්කාර අධිකරණය තමාගේ ම ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම් මුල්කොට ගෙනයි සකස් වෙන්නේ. පින්වත, ඇප දීමක් හෝ ඇප ඉල්ලීමක් නැති සංස්කාර අධිකරණය, ඔබ සිදු කරන වරද හෝ නිවැරදිභාවයට අදාළව “දැනීම” හෙවත් තීන්දුව මයි ලබා දෙන්නේ. පින්වත, සංස්කාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං. පින්වත, රටේ පවතින නීතියෙන් ගැලවුණත්, තමාගේ හෘද සාක්‍ෂියෙන් ගැලවෙන්න කාටවත් ම බැහැ. පින්වත, සංස්කාර අධිකරණයේ විනිශ්චයට ලක් වෙන ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වන අකීකරු ළමයින් දෙදෙනා වන ‘ඇලීම්’ සහ ‘ගැටීම්’ ගැන හොඳින් සිහිනුවණ ඇති කොට ගන්න. පින්වත, හොඳ හෝ නරක පිළිබඳව හේතුඵල ධර්මයන් නුවණින් මතු කොට දෙන උපේක්‍ෂාවට, ජීවිතයෙන් පලා යන්න දෙන්න එපා. පින්වත, ස්ථිරභාවයක් නැති, නිරතුරුව ම හරි හෝ වැරදි දිශාවට දෝලනය වන, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය තුළ ඔබේ ජීවිතයට ආරක්‍ෂකයෙක් එකතු කොට ගන්න දක්‍ෂ වෙන්න.

පින්වත, රතු පලස් මත, රාජ්‍ය ගෞරව මැද ගිය නායකයෝ බන්ධනාගාර බසයේ යද්දී, මල් කැකුළු වගේ ජීවත් වන දරුවෝ පිළිකා වැනි බලවත් කර්ම රෝගයන්ට ගොදුරු වෙද්දී සංස්කාර හේතුවෙන් සකස් වූ විඤ්ඤාණය හෙවත් දැනීම් සමග පෙරළා ගැටීමෙන් ඵලක් නැහැ. පින්වත, ප්‍රණීත සංස්කාරයෝ යැයි කියන්නේ වංචාවක්, ප්‍රෝඩාවක්, ඇස් බැන්දුමක් පමණක් මයි. පින්වත, අතීත සංසාරයක් පුරාවට පටිච්චසමුප්පන්නව අපි මේ සංස්කාර ඇස් බැන්දුමට රැවටුණා. පින්වත, අපිම අතීතයේ ‘නරකයි’ කියලා ඇති කොට ගත් දැනීම්, පෙරළා ‘හොඳයි’ කියලා අපිම දකිනවා. අපිම අතීතයේ ‘හොඳයි’ කියලා ඇති කොට ගත් දැනීම්, වර්තමානයේ ‘නරකයි’ කියලා අපිම දකිනවා. පින්වත, දැනීම් ඔස්සේ තට්ටුමාරු ක්‍රමයට අපි මේ සංස්කාර ලෝකය මයි ප්‍රවර්ධනය කරන්නේ.

පින්වත, අවිද්‍යාවේ ලෝකය පාලනය කරන්නේ තෘෂ්ණාව විසින්. පින්වත, තෘෂ්ණාව වියරුවක් වෙද්දී, ලෝකය සද්ධර්මයට අකීකරු වෙන අසද්ධර්මයේ ඒකාධිපතියෙක් වෙනවා. පින්වත, මේ අසද්ධර්මයේ ඒකාධිපතියාට මිච්ඡා පාතාල ගෝලයෝ අට දෙනෙක් සිටිනවා. පින්වත, අසද්ධර්මයේ ඒකාධිපතියාගේ අණ ක්‍රියාත්මක කරන පාතාල ගෝලයෝ අට දෙනා යැයි කියන්නේ, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්පයන්ගෙන් මිච්ඡා සමාධිය දක්වා පෙළ ගැසෙන මිච්ඡා පාතාලයේ අට දෙනාටයි. පින්වත, ලෝකය කවදත් සම්මා සහ මිච්ඡා ධර්මයන්ගේ සංකලනයක්. පින්වත, හංසයා දියෙන් කිරි වෙන් කොට ගන්නවා සේ, අපි දක්‍ෂ විය යුතුයි තෘෂ්ණාවේ ජවයෙන් බලවත් වන අධර්මය මඟ හැර සද්ධර්මයේ ආරක්‍ෂාව මතු කොට ගන්න.

පින්වත, වර්තමානයේ හුඟ දෙනෙකුට බිය නිසා, ආහාර මදභාවය නිසා, මානසික පීඩනයන් නිසා රාත්‍රියට නින්ද යන්නේ නැහැ. නින්දක් ගියත් නරක, නපුරු හීන පෙනෙනවා. පින්වත, වර්තමානයේ හුඟ දෙනෙකුට දෙවියන්ගේ, මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ ප්‍රියභාවයක් නැහැ. පින්වත, මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ ඒකාධිපතිභාවය හේතුවෙන් සහ මනුෂ්‍ය වැරදි පූර්වාදර්ශයෝ නිසා ම, දෙවියනුත්, අමනුෂ්‍යයනුත් පිරිහීමේ දිශාවට මයි කාමච්ඡන්දයෝ සකස් කොට ගන්නේ. “පින්වත, මනුෂ්‍යයා තෘෂ්ණාවෙන් පිරිහීමට පත් වෙද්දී, දෙවියෝ ද තෘෂ්ණාවෙන් පිරිහෙනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඔබේ සැපය උදෙසා ලෝකයාගේ සැපය උදුරා ගන්න එපා. එය තෘෂ්ණාවේ පාතාල ක්‍රියාවක්. පින්වත, අපි හැමෝම පසුගියදා අත්අඩංගුවට ගත් පාතාල නායකයන්ට ඇඟිල්ල දිගු කළත්, එම පාතාල මර්දන මෙහෙයුම්වලට ජය වේවා! යැයි ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළත්, නොදැනුවත්භාවයෙන් ම අපිත් තෘෂ්ණා ඒකාධිපතියාගේ තෘෂ්ණාව ප්‍රවර්ධනය කරන පාතාල සාමාජිකයන් ම නේද? පින්වත, දුකට හේතුව පාතාලය නොවේ. දුකට හේතුව පාතාලය කෙරෙහි ඇති කොට ගත් ඇලීම සහ ගැටීමයි.

පින්වත, පාතාල නායකයෝ රජෙකුට නැති ආරක්‍ෂාවක් ලබද්දී, රටේ ජනතාව මහ මඟ අනාරක්‍ෂිතව මරා දමනවා. පින්වත, සත්‍යකින් ම පාතාලය යැයි කියන්නේ බලය උදෙසා සුන්දර සූදුවක්. අපේ ඇත්තෝ පාතාලයට යටි සිතින් කැමැතියි. පින්වත, පාතාලය දැන් අවසන් යැයි සාමයට ළැදි පින්වත් ජනතාව සතුටු වුණත්, පින්වත, මිච්ඡා බලය ඉදිරියේ පාතාලය යැයි කියන්නේ සූදුවක්. පින්වත, මිච්ඡා බලයත්, පාතාලයත් යැයි කියන්නේ දෙකොන ඇවිලුණ ගිනි පන්දමක් වගේ මයි. පින්වත, අවසානය දෙපාර්ශ්වයේ ම විනාශයයි. පින්වත, මිච්ඡා බලය වේවා, පාතාලය වේවා, පින්වත් ඔබ වේවා අපි හැමෝම එකම මාතෘ භූමියේ දරුවෝ. අපි හැමෝම ලෙයින්, මසින් හැදුණ මනුෂ්‍යයෝ. සංස්කාරයන්ගේ විවිධත්වය පමණක් මයි ඉහත සියල්ල තුළින් ධර්මානුකූලව අපි දකින්නේ.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට රටේ රාජ්‍ය නායකයා සිහිපත් වුණත්, පාතාල නායකයෙක් සිහිපත් වුණත්, ‘සුවපත් වේවා!’ යැයි කියලා මයි දකින්නේ, නමුත් ශ්‍රාවකයා දන්නවා මේ දෙදෙනා ම සද්ධර්මයෙන් බැහැරටයි යන්නේ කියලා. පින්වත, ජාතියට අවශ්‍ය ද්වේශය, පළිගැනීම නොවේ මෛත්‍රියයි, මෛත්‍රියෙන් පෝෂණය වූ ශීලයයි. පින්වත, පාතාල නායකයන් සතු මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ සංවිධාන ශක්තිය, ජාත්‍යන්තර වෙළෙඳ හැකියාව, කාර්යක්‍ෂමතාවය රටේ නීත්‍යානුකූල ව්‍යාපාර ජාලය උදෙසා යොමු කොට ගැනීමට දක්‍ෂ, මානුෂික, මෛත්‍රියෙන් පෝෂණය වූ පුනරුත්ථාපන ක්‍රියාවලියකින් පමණක් මයි සත්පුරුෂ පාලක පින්වතුන්ලාට පාතාලය දමනය කළා යැයි උදම් අනන්න පුළුවන්කම ලැබෙන්නේ. එතෙක් අපි සිදු කරන්නේ තෘෂ්ණාවේ සූදුවක් මයි.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here