ඇල්ල වැල්ලවාය පාරේ අනතුර ගැන ඇසුණු කතා

0
6

තංගල්ල නගරයේම සුදු කොඩි
බ්‍රේක් නැහැ කියා කී විට කට්ටිය හිතුවේ විහිළුවක් කියලා
දිවි බේරුණු තරුණයෙක් කියයි
බස් එක ආවේ සාමාන්‍ය වේගයෙන්
කොන්දොස්තර
අම්මා ටි්‍රප් ගිය බස් එක පෙරළිලා කියා බාප්පා කිව්වා
දරුවෙක්
එක බස් එකක් ආවේ වැරදි මංතීරුවේ
වෙළෙඳසලක හිමිකාරිනියක්
නිවාඩුවට ගමේ ඇවිත් සිටියදී ජීවිත තුනක් බේරාගත් සෙබළාගේ වීර ක්‍රියාවට පැසසුම්
ඇල්ල වැල්ලවාය පාරේ අඩු වේගයකින් යන්න
මම නම් හිතුවේ ඉවරයි කියලා දිවි බේරුණු අයෙක් කියයි

“ඇල්ල වංගුවක් හරියෙදි බස් රථයේ රියැදුරු කිව්වා බ්රේක් නැහැ කියලා. ඒ සමගම ඉදිරියෙන් ආ වාහනයේ වැදිලා බස් රථය ප්‍රපාතයට පෙරළුණා. මට සිහිය තිබුණේ නැහැ” යැයි ඇල්ල බිහිසුණු බස් අනතුරින් දිවි ගලවාගත් බස් රථයේ ගමන් ගත් එක් අයෙක් එසේ මාධ්‍ය හමුවේ (05දා) පැවැසීය.

බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මෙසේද කීය.

“අපි නුවරඑළියේ විනෝද චාරිකාවක් ගිහින් එද්දි ඇල්ල හරියේ වංගුවක් ගනිද්දි රියැදුරු කිව්වා බස් එකේ බ්රේක් නැහැ කියලා. මෙහෙම කියද්දි සමහරක් දෙනා විහිළුවක් කියලා හිනා වුණා. ඔය කියන්නේ බොරු කියලා සමහර අය කිව්වා. දෙවැනි වංගුවේදී බ්රේක් නැහැ කියලා රියැදුරු එකපාරට කපන්න ගත්තා. ඉදිරියෙන් වාහනයක් ආවා. ඒකෙ වැදිලා දරුණු ප්‍රපාතයකට බස් එක පෙරළුණා. ඊට පස්සේ මොකක්ද වුණේ කියලා මට මතක නැහැ.”

අනතුරින් දිවි ගලවාගත් බස් රථයේ කොන්දොස්තර මෙසේ කීය.

“බස් එක සාමාන්‍ය වේගයෙන් ආවා. ඒ එද්දි බස් රථයේ බ්රේක් නැතුව ගියා. ටිපර් රථයක් ද පසු කළා. ඒ යද්දි බස් එකේ බ්රේක් නැතුව ගියා. අනතුරින් 15 දෙනෙක් විතර මේ වෙද්දි මිය ගිහින්. හිතාගන්න බැහැ.

මෙම අනතුරින් මියගිය බස් රථයේ ගමන් ගත් තංගල්ල නගර සභා සේවිකාවකගේ දියණීය හැඬූ කඳුලින් මෙසේ කීවාය.

“ඊයේ (04දා) උදේ පාන්දර 3.30 ට විතර අම්මා නගර සභාවේ ටි්‍රප් එකක් යනවා කියලා ගියා. පස්සේ ඊයේ රාත්‍රී බාප්පා ඇවිත් කිව්වා බස් රථයක් ප්‍රපාතයකට පෙරළිලා සෑහෙන පිරිසක් මියගිහින් කියලා. ඒක ෆේස්බුක්වල සංසරණය වෙනවා කියලත් කිව්වා. පස්සේ අපේ තාත්තා තංගල්ල නගර සභාවට ගිහිල්ලා ඒක ඇත්ත බව තහවුරු කරගත්තා. එහෙම තහවුරු කරගෙන තාත්තා අම්මාව බලන්න ඇල්ලට ගියා. අම්මා අපිව දාලා ගිහින් කියලා තාත්තා මට දැනුම් දුන්නා. මට තව ඉන්නවා නංගිලා දෙන්නෙක්. තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි තනි වුණා. දරුවෝ හැටියට කොහොමද අපි මේක දරා ගන්නේ.”

මෙම ඛේදවාචකයෙන් ඊයේ (05දා) පස්වරුව වන විට පුද්ගලයන් 15 දෙනකු මරුමුවට පත්ව තිබිණි. මෙම සිද්ධියෙන් තංගල්ල නගර සභාවම මෙන්ම ප්‍රදේශවාසීන් දැඩි ලෙස කම්පාවට පත්ව තිබිණි. තංගල්ල නගරය සුදු කොඩිවලින් සරසා තිබෙනු දැකගත හැකි විය. මියගිය අයවළුන්ගේ පවුල්වල ඥාතීහුද අවමඟුල් නිවෙස් සූදානම් කරමින් සිටියහ.

තංගල්ල නගර සභාවේ සේවකයන් ඇතුළු පවුල්වල පිරිස් නුවරඑළියේ විනෝද චාරිකාවක් ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබුණේ පෙරේදා (04දා) රාත්‍රී 9.30 ට පමණය.

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛi පාලිත රාජපක්ෂ මහතා

“අපි එතැනට යනකොට හිතාගන්න බැරි වුණා. මොකක් දැයි කරන්නේ කියලා. අපි එතැනට ගියාම දැක්කේ අඩියක් පේන්න නැති යන්න පාරක්වත් පේන්නෙ නැති අගාධයක්. හමුදාව ඇවිත් හිටියා. ඔවුන් සෑහෙන උදව් කළා. සෑහෙන ප්‍රපාතයකට බැස්සා. යනකොට බස් එකක් කියලා එකක් තිබුණේ නැහැ කෑලි ගොඩක් තිබුණේ. පිරිසේ හත්දෙනෙක් විතර තුවාලකරුවන් මා ළඟට ගෙනාවා. ඒ රැගෙන ආ සියලු දෙනාට සේලයින් දීලා ලේ වහනය වෙන ඒවා නවත්තලා සියලු දෙනා රෝහලට පිටත් කළා. පස්සේ දැන ගත්තා මළ සිරුරු 15 ක් විතර රෝහලට රැගෙන ගියා කියලා.

ඇල්ල වෙළෙඳසලක හිමිකාරිනියක මෙසේ පැවැසුවාය.

බස් තුනක් එනවා දැක්කා. ඒකෙන් දෙකක් නිවැරදි මංතීරුවේ එනවා දැක්කා. අනෙක් බස් එක මංතීරුවෙන් ඕවර්ටේක් කරලා මගේ කඩේ පැත්තෙන් ආවා. ඒ එනකොට උඩහ පැත්තෙන් ලොකු ලොරියක් එනවා දැක්කා. එයාට නවත්වගන්න පුළුවන් වුණේ කොහොමද දන්නේ නැහැ. එයා ලොරිය නවත්වා ගත්තා. මං හිතුවේ රථය මගේ කඩයට එයි කියලා. මේ රියැදුරු මහත්වරුන්ගේ අධිවේග ගමන් රටාව අඩුවෙන්න ඕන. වැල්ලවාය, රාවණාඇල්ල, නුවරඑළිය මාර්ගයේ ගමන් කරන රියැදුරු මහත්වරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා වාහන සෙමින් පදවන්න කියලා. මේ මාර්ගයේ මාර්ග අනතුරු සිදුවෙනවා.

රැකියාවට යන කාන්තාවක මෙසේ පැවැසුවාය.

අපි වැඩ ඇරිලා හැමදාම යන්නේ රෑ 8.00 ට 8.30 ට විතර. ඒ යනකොට මේ බස් ටික අපිට ඊයේ හමුවුණා. පුදුම වේගයකින් ආවේ. මේ අනතුරින් පස්සේ බල්ලො, කුකුල්ලු වගේ මැරිලා ඉන්නවා මිනිස්සු. ඒක දැක්කම හරි සංවේදියි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ වේගය අඩු කරගෙන රිය පදවන්න පුළුවන්නම් මේ ජීවිත හුඟක් කල් රැඳෙයි.”

මේ අතර පෙරේදා (04දා) රාත්‍රියේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරේදී පුද්ගලයන් තිදෙනකු බේරා ගැනීමට කළ නිර්භීත උත්සාහය වෙනුවෙන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා සෙබළකුට සුවිශේෂී ප්‍රශංසාවක් හිමිව තිබේ.

ඔහු නිවාඩුවට ගමේ පැමිණ සිටියදී මෙසේ ජීවිත බේරා ගැනීමට සහය වී ඇත. පෙරේදා රාත්‍රී රාවණා ඇල්ල අසල අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පළමු යුද හමුදා කණ්ඩායම අතර, විශේෂ බළකා ටී ෂර්ට් එකක් ඇඳ සිටි තරුණයෙක් කුඩා කණ්ඩායමක දායකත්වය ගෙන ජීවිත බේරා ගැනීමට පටන්ගෙන තිබේ.

බස් රථය ප්‍රපාතයට පෙරළී ගිය ස්ථානයට ඉහළින් මියගිය පුද්ගලයන් 4 දෙනකු සහ තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකු සිරවී සිට ඇති බව වාර්තා වී ඇති අතර, සාමාන්‍ය පුද්ගලයකුට ළඟාවීමට නොහැකි තරම් දුෂ්කර ස්ථානයකට බැස තම ජීවිතය ගැනවත් නොසිතා එම තරුණයා මියගිය හා තුවාල ලැබූ සියලුම පුද්ගලයන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබේ. තුවාල ලැබූවන්ගෙන් එක් අයකු සමග බැස යන අතරතුර එම තරුණයාගේ හිස ගලක වැදී බරපතළ තුවාලයක් ද සිදුවී තිබේ. වේදනාවෙන් සිටියදී පවා ඔහු දිගින් දිගටම මුදා ගැනීමේ මෙහෙයුමට සහාය ලබාදී තිබේ.

මෙම මුදා ගැනීමේ මෙහෙයුමෙන් පසු ඔහුට මූලික ප්‍රතිකාර ලබාදී බදුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මනුස්සකම පිරුණු මේ මිනිසා ශ්‍රී ලංකා යුද හමුදාවේ 2 වැනි විශේෂ බළකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්. එම්. පී. එම්. බණ්ඩාරයි.

නිවාඩු ලැබ නිවසට පැමිණ සිටි මෙම නිලධාරියා සිය නිවස අසල සිදුවූ මෙම බිහිසුණු අනතුරට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තුවාල ලැබූවන් බේරා ගැනීමට මෙලෙස ක්‍රියා කර තිබේ.

අනතුරින් දිවි ගලවා ගත් තවත් එක් අයෙක් මෙසේ පැවැසීය.

ඇල්ල හරියේ වංගුවක් ගාවදි රියැදුරු කිව්වා බ්රේක් නැහැ කියලා. මම බොනට් එක උඩ වාඩිවෙලා කතා කර කර සිටියා. ඩ්‍රයිවර් එහෙම කිව්ව එකට කොන්දොස්තර හිනා වුණා. එහා පැත්තේ ආසනයේ එක් කෙනෙක් හිටියා. එයත් හිනා වුණා. බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුවේදී ඩ්‍රයිවර් කිව්වා ඇත්තටම බ්රේක් නැහැ කියලා. ඩ්‍රයිවර් බස් රථය එකපාරට කපන්න ගත්තා. ඒ හරියෙදි වාහනයක් ආවා. ඒකෙ වැදිලා බස් එක පල්ලමට ගියා. මම නම් ඒ වෙලාවේ හිතුවා ඉවරයි කියලා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඩබල්කුඹුර – රවිඳු ගුණතිලක, හපුතලේ – නයනානන්ද බුවනෙක, කතරගම – කේ. ඩී. දේවප්‍රිය, බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here