ඇඹිලිපිටිය මොරකැටිය විද්‍යාලයේදී බඹර ප්‍රහාරයකින් දරුවෝ 20ක් හා මව්පියෝ 5ක් රෝහලේ

0
1

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ මොරකැටිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේදී බඹර ප්‍රහාරයකින් පසුව දරුවන් 20 දෙනකු සහ දෙමාපියන් පස්දෙනකු ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (13දා) පෙරවරු 8.30 ට පමණ මෙම බඹර ප්‍රහාරය සිදුව ඇත.

මොරකැටිය මහ විද්‍යාලය ආසන්නයේ පාසලෙන් පිට ඇති ඉඩමක අඩි 50ක් පමණ උසින් බඹර වදයක් ඇති අතර, මේ දිනවල එහි පැණි පවතින බැවින් උකුස්සන් විසින් මෙම බඹර වදයට ප්‍රහාරයක් එලල් කර ඇත. ඉන් පසුව ඇවිස්සුණු බඹරුන් විසින් ක්‍රීඩාපිටියේ ක්‍රීඩා කරමින් සිටි දරුවන්ට පහර එල්ල කර ඇත.

ඉන් අනතුරුව විද්‍යාලයේ විදුහල්පතිතුමා හා ගුරුවරුන් දෙමාපියන් මැදිහත්වී 1990 ට කතා කර ඉතා ඉක්මනින් මෙම පිරිස ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඇඹිලිපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ ප්‍රියන්ත මහතා කියා සිටියේ සිසුන් 20ක් සහ දෙමාපියන් 5 දෙනකු රෝහල වෙත ඇතුළත් කරන ලද බවයි. ඔවුන්ව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මේ වනවිට වාට්ටු කරා මාරු කර ඇත.

රෝහල් අධ්‍යක්‍ෂකවරයා කියා සිටියේ මෙම පිරිසෙන් කිසිවකුත් අවදානම් තත්ත්වයේ නොමැති බවයි. රෝහල් කාර්ය මණ්ඩලය ඉතාමත් යුහුසුළුව මැදිහත්වී මේ දරුවන්ට ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර සිදු කළ බව ද කීය.

මෙවර ප්‍රාථමික අංශ ක්‍රීඩාවලින් ජයගත් මොරකැටිය විද්‍යාලයේ 3 ශ්‍රේණියේ සහ 5 ශ්‍රේණියේ සිසුන් කණ්ඩායම් 3ක සිසුන් 24 දෙනකු දිනපතාම මොරකැටිය පාසල් ක්‍රීඩාංගණයේ පළාත් තරග සඳහා පුහුණුවීම් කටයුතු කරනු ලබයි. දරුවන්ට සහයෝගයක් වශයෙන් දෙමාපියන් ද මෙම අවස්ථාවේදී ක්‍රීඩාපිටිය තුළ රැඳී සිටී. මෙයින් සිසුන් 20 දෙනකු මෙම ප්‍රහාරයට ලක්ව ඇත. මේ අතර එම විද්‍යාලයේ ගුරුභවතකුගේ දරුවකු ද සිටී. විදුහල්පති කරුණාරත්න ගමගේ මහතා කියා සිටියේ දරුවන් කිසිදු ප්‍රමාදයකින් තොරව රෝහල්ගත කළ බවත් මේ තත්ත්වය මත පාසල 1.15 වනවිට නිමකර අනෙක් දරුවන් ආපදාවකින් තොරව නිවෙස් වෙත යැවූ බවත්ය.

මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී පාසල ආරම්භ කිරීම සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් ඇති බැවින් වනජීවි ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කළ බවත් කීය.
ඕමල්පේ – ප්‍රගීත් ජනක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here