ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රුපියල් බිලියනයක එන්තරවාසියක්

0
7

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක මහතා වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.

නීතිඥ සම්පත් යාලෙවත්ත මහතා මගින් යොමු කර ඇති මෙම එන්තරවාසියට පදනම් වී ඇත්තේ , 2026 පෙබරවාරි 01වැනිදා හෝ ඒ ආසන්න දිනකදී නිරෝෂන් පාදුක්ක මහතා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවය.

එම මාධ්‍ය සාකච්ඡාවේදී නිරෝෂන් පාදුක්ක මහතා විසින් වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකර ඇති පහත සඳහන් ප්‍රකාශයන් මෙම නෛතික පියවරට හේතු වී තිබේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට අසාධු ලේඛනගත ((Blacklisted) ) ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිතා කර ඇති බවත්, එම ණය කාඩ්පත භාවිතා කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවත්,  මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා වහාම කරුණු හෙළි කළ යුතු බවත්, ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අවධාරණය කර ඇත.

එම එන්තරවාසියට අනුව,

අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ණය කාඩ්පතක් භාවිතා කර නොමැති අතර මෙය ද්වේශසහගතව නිර්මාණය කරන ලද අසත්‍ය චෝදනාවකි.

මෙම ප්‍රකාශය මගින් අමාත්‍යවරයා දූෂිත අයෙකු බවත්, ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට නුසුදුස්සෙකු බවත් මහජනතාවට හැඟවීමට උත්සාහ කර ඇත.

දීර්ඝ කාලීන දේශපාලන ජීවිතය තුළ නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගිය අමාත්‍යවරයාගේ කීර්ති නාමයට මින් දැඩි හානියක් සිදුව ඇති බවද එහි සඳහන්ය.

ඒ අනුව මෙම අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් මෙම එන්තරවාසියේ දින සිට (2026.02.02) දින 14ක් ඇතුළත ගෙවන ලෙස නිරෝෂන් පාදුක්ක මහතාට දැනුම් දී තිබේ.

එසේ ගෙවීම පැහැර හැරියහොත් නීතිමය පොලිය සහ නඩු ගාස්තු සහිතව එම මුදල අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම ලේඛනය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here