සටහන – රුවන් නෙළුගොල්ල
වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.
“අපේ රටේ ආධ්‍යාත්මික චින්තය බොහෝදුරට හැඩගැසී ඇත්තේ ක්‍රි. පූ. තෙවැනි ශත වර්ෂයේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන එන ලද බුදුදහම හා එහි වටිනාකම් තුළය. අපේ ගති පැවතුම් හා විනයානුකූල පැවැත්ම ද බොහෝදුරට සැකසී ඇත්තේ ඒ තුළය. තමන්ට කැමති ආගමක් හා ජීවිත දර්ශනයක් අනුගමනය කිරීමට සැමට නිදහස ඇත. එහෙත් අප රට දීර්ඝ ආගමික පැවැත්මකින්, විශේෂයෙන්ම බෞද්ධ ධර්මයේ ආභාෂයෙන් ගොඩනැඟුණු රටක් නිසා රටේ නායකයින් ඒ ආගමික පැවැත්මට ගරු කළයුතු බව පැහැදිලිය.
යම් දේශපාලනික න්‍යාය ධර්මයක් තුළ සිරවී අප සමාජයේ ආගමික පැවැත්මට හා සදාචාරයට ප්‍රතිවිරුද්ධ අයුරින් ගොනැංවීමට උත්සාහ කිරීම බලාපොරොත්තු වන ආර්ථික හා සමජයීය ප්‍රගතිය අත්කරගැනීමේ මග නොවේ. නොබෝ දා සිට රට පාලනය කරන අය බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයින් ගැන දක්වන ප්‍රතිචාර හා රටේ පොදු ප්‍රශ්නවලදී ඔහුවට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති අය ලෙසින් සැලකීමේ තත්වය තීව්‍ර වෙමින් තිබෙන බව පෙනේ. ඇතැම් රජයේ ඇමතිවරුන් පවා ආගමික නායකත්වය පරිභවයට ලක්කරමින් කරන ප්‍රකාශ අප විසින් මෙහිදී හෙළාදැකිය යුතුවේ.
රටක සැබෑ ආර්ථික ප්‍රගතිය රැඳී ඇත්තේ දැහැමි ප්‍රතිපත්ති අනුව ඒ රට ගොඩනැඟුණොත් පමණි. අප රටේ ව්‍යවස්ථාව පවා සනාථ කරන්නේ ශ්‍රී ලංකාව ආගමික පැවැත්මට මුල්තැන දෙන රටක් බවයි. ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලැබුවාට ප්‍රතිපත්තියක් නැත්නම් සාධාරණකම පිළිබඳ අවබෝධයක් නැත්නම් සියලුදෙනා සමග සම්පත් බෙදාගැනීමේ අවශ්‍යතාවය ගැන හැඟීමක් නැත්නම් ඒ සමාජය වැඩිකල් නොගොස් පිරිහී යන තත්වයට පත්වන බව තවදුරටත් ඔප්පු කර සිටින්නේ යුරෝපාකරයේ අද පවතින ආගමක් නැති, සීලාචාරකමක් නැති සමාජ ක්‍රමයක් බිහිවී ඇති පරිසරයයි. අද ශ්‍රී ලංකාව තුළ අපි ඒ අය එදා ගිය විනාශකාරී මාවත වෙත පියවර නඟනවාද යන ප්‍රශ්නයක් ඉදිරියේ සිටිමු.
අද ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාම භයානක කාල පරිච්ඡේදයකය. දේශපාලන නායකයින් කොපමණ පොරොන්දු දුන්නත් තවමත් මෙරට ආර්ථිකය ඇත්තේ එවන් අඩිතාලමකය. මේ සියල්ල නිසා අපේ රටේ නායකයින් අප සංස්කෘතියට හා සභ්‍යත්වයට නොගැලපෙන චින්තනයක් තුළින් රට ඉදිරියට ගෙන යන්නට උත්සාහ නොකළ යුතුයි. විශේෂයෙන්ම ආගමික චින්තනයට පරිභාව නොකර, ආගමික චින්තනය සෑම දෙයකදීම අපේ රටේ ප්‍රගතියේ මිනුම්දණ්ඩ කරගැනීමට කටයුතු කරන්නේ නම් මීට වඩා හොඳ රටක් අපට නිර්මාණය කිරීමට පුළුවන් වනු ඇත”
කාදිනල් හිමියන් මේ බව පැවසුවේ 78 වැනි ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් ඊයේ (04) බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේවමෙහෙය අමතමිනි.
Saru News










