ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියාගෙන් කුසලානය ගැනීමට ඉන්දීය කණ්ඩායම බැහැ කියයි

0
1

ක්‍රිකට් පිටියේ සින්දූර් මෙහෙයුමෙන් ද ඉන්දියාව ජය ගත්තා – මෝදිගෙන් එක්ස් සටහනක්
අතට අත නොදීම අපට නොව ක්‍රිකට් ක්‍රීඩාවට අගෞරවයක් – පාකිස්තාන නායකයා කියයි
දිනුවත් නිම නොවුණු පස මිතුරන්ගේ ක්‍රිකට් ගැටුම

ඉකුත් ඉරිදා (28දා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ආසියානු කුසලානයේ සමාප්ති උත්සවය විහිළුවක් බවට පත්වූයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මොහ්සින් නක්විගෙන් සිය ජයග්‍රාහී කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ඩුබායි අහසට පාවී අතුරුදන් වූ බව පෙණිනි. දෙරටේ යුද ආතතිය ක්‍රිකට් පිටියටද පැමිණීම කනගාටුදායකය.

ආසියානු කුසලාන ශූරතාව දිනා ගැනීම සඳහා තියුණු තරගයකින් පසු අවසන් ඕවරයේ දී ඉන්දියාව කඩුලු පහකින් පාකිස්තානය පරාජය කළ නමුත් පහල්ගම් ප්‍රහාරය ගැන නිතර සිහිකරන ඉන්දියාව, පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වන පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයාගෙන් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.

“අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් මට දන්වා ඇත” යනුවෙන් තරගයෙන් පසු කුසලාන පිරිනැමීමේ අවස්ථාව මෙහෙයවූ සයිමන් ඩූල් පැවසීය. අවසන් තරගය නිමාවී පැයකට අධික කාලයකට පසු ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය ආරම්භ විය. පාකිස්තාන කණ්ඩායම තමන්ට හිමි ත්‍යාග හා සම්මාන ලබා ගැනීමට පැමිණිය ද ඉන්දීය කණ්ඩායමේ නායකයා කුසලානය ලබා ගැනීමට වේදිකාව වෙත පැමිණියේ නැත. ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසා තිබුණේ ක්‍රිකට් පිටියේ සින්දූර් මෙහෙයුමෙන්ද ඉන්දියාව ජයගෙන ඇති බවයි. මෙයද ක්‍රීඩාවේ ජීවගුණය පහත හෙළන දේශපාලන ප්‍රකාශයක් විය.

මොහ්සින් නක්වි ඉන්දීය අගමැතිගේ සටහනට ප්‍රතිචාර දක්වමින් යුද්ධය ක්‍රීඩාවට ඇද දැමීම ක්‍රීඩා ආත්මයට කරන අපහාසයක් බව සඳහන්ව තිබිණි.

ප්‍රධාන පෙළේ තරගාවලියක අවසන් මහ තරගයේදී නායකයන් දෙදෙනා අතට අත දී සුහදතාව ප්‍රකට කිරීමේ අවස්ථාව මෙම තරගයේදී දක්නට නොලැබිණි. එනම් මෙම තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය මීට පෙර හමු වූ අවස්ථා දෙකේදී මෙන්ම මෙම තරගයේදීද නායකයන් අතට අතදීමක් සිදු කළේ නැත.

කුසලානය ලබා නොගැනීමට ගත් තීරණය පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් පැවසුවේ එය කණ්ඩායමේ සාමූහික තීරණයක් බවයි. ජයග්‍රාහී කණ්ඩායමක් කුසලානය නොගැනීම මීට පෙර කිසි දිනෙක දැක නොමැති බවත් ඔහු පවසා තිබිණි. ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ ලේකම් දේව්ජිත් සයිකියා පැවසුවේ මොහ්සින් නක්විගෙන් කුසලානය ලබා නොගැනීමට තීරණය කළේ ඔහු පාකිස්තානයේ ප්‍රබල නායකයකු වන නිසා බවයි. පාකිස්තාන නායක සල්මන් අගා පවසා තිබුණේ ඉන්දීය කණ්ඩායමේ ක්‍රියාකලාපය ක්‍රිකට් ක්‍රීඩාවට අගෞරවයක් බවයි. ඔහු මෙසේද පවසා තිබිණි.

“අපිව හැමදාම විවේචනය කරලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව තේරුම් ගන්න අය ක්‍රිකට් ගැන විතරයි කතා කරන්නේ. අනෙක් සියල්ල ද්විතීයිකයි. මේ තරගාවලියේ අපේ පිතිකරණය හොඳ නැහැ. වැඩිදියුණු කළ යුතු දේවල් තියෙනවා. අපි වෙන කිසිම දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. ඉන්දීය කණ්ඩායම අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම අපට අගෞරවයක් නොවේ. එය ක්‍රිකට් ක්‍රීඩාවට අගෞරවයක්. කිසිම ශ්‍රේෂ්ඨ කණ්ඩායමක් ඉන්දියාව වගේ ක්‍රියා කරන එකක් නැහැ. වැදගත් කණ්ඩායමක් නම් ඉදිරියට පැමිණ කුසලානය සමග පදක්කම් ලබා ගනීවි”

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව මැයි 07 වැනිදා ඉන්දියාව විසින් තම රටට එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ. අදාළ ප්‍රහාරයෙන් මියගිය කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here