ආනයනික ගල්අඟුරු ගැන ප්‍රමිති වාර්තා ලබා දෙන්න – ආංශික අධීක්ෂණ කාරක සභාව

0
10

දිවයිනට පැමිණි ගල්අඟුරු නෞකා තුනෙහි ප්‍රමිති වාර්තා සහ අවසන්වරට පැමිණි නෞකාවේ ගල්අඟුරුවල තත්ත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ රසායනාගාර වාර්තා එළැඹෙන කාරක සභා රැස්වීමට යොමු කරන ලෙසට අදාළ නිලධාරීන්ට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නියම කර තිබේ.

විදුලිබල නිෂ්පාදනය සඳහා මෙරටට ආනයනය කරනු ලබන ගල්අඟුරු තොග පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසීමට ලක්කර ඇත.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්තාවේදීය.

මෙදින කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ  නිලධාරීන් කැඳවා තිබුණි.

එහිදී කාරක සභාව විසින් ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු පැහැදිළි කරගැනීමක් සිදුකර ගත් අතර අවසන්වරට ගල්අඟුරු ආනයනය සිදුකිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා කරුණු පැහැදිලි කරගත් බව සඳහන් වේ.

එහිදී අවසන් වරට මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරුවල ප්‍රමිතියේ ගැටලුවක් මතුව ඇත්දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා ඇත.

දිවයිනට පැමිණි ගල්අඟුරු නෞකා තුනක සාම්පල තත්ත්ව පරික්ෂා කිරීම සඳහා ඉන්දියාව වෙත යොමු කර ඇති අතර එම වාර්තා පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි බව නිලධාරීන් කාරක සභාවට දන්වා තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරුණු අතර මෙම ගල්අඟුරු තොග ආනයනය කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධව කටයුතු කළ සීමාසහිත ලංකා ගල්අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා ඊලඟ රැස්වීමේදී කාරක සභාව හමුවට කැඳවන බව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පවසා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here