ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක් 

0
2

කොළඹ හුණුපිටිය ගංගාරම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් ‘Lifetime Achievement Award’ ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ඒ, බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකරන ලද සුවිශේෂි මෙහෙවර අගයමිනි.

ශ්‍රී ලාංකිකයෙකු මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

මීට පෙර මෙම විශිෂ්ට සම්මානය ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ඇතුළු ජාත්‍යන්තර වශයෙන් අතිමහත් සේවාවක් ඉටුකළ ලෝක ප්‍රකට සම්භාවනීය පුද්ගලයන් වෙත පිරිනමා ඇත.

සම්මානය ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය අස්සජී නා හිමියන් ප්‍රකාශ කළේ, තමන් වහන්සේ වෙත පිරිනමන ලද මෙම ගෞරවය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන්ම සිදු කරන ලද ඇගයීමක් බවය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ද්විපාර්ශවික සබඳතා දියුණු කිරීමට අඛණ්ඩව කැපවන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here