ආචාර්ය උපාධිය කරඇරි රුහුණේ ඇදුරන්ගෙන් මිලියන 69 තාම අයකරගෙන නෑ

0
2

උසස් අධ්‍යාපන ව්‍යාපෘති සහ සංවර්ධනය වේගවත් කිරීමේ ව්‍යාපෘතිය මගින් රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හත්දෙනකු සඳහා ආචාර්ය උපාධිය හෑදැරීමට රුපියල් මිලියන 69.67ක මුදලක් වැයකොට තිබුණ ද උපාධිය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් නැවත එම මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

උසස් අධ්‍යාපන ව්‍යාපෘති සහ සංවර්ධනය වේගවත් කිරීමේ ව්‍යාපෘතියෙහි ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙම මුදල් වැයකොට තිබුණි. විදේශීය ව්‍යාපෘති මගින් ලබා දෙන මුදල් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. බැඳුම්කර කඩකළ ආචාර්යවරුන්ගෙන් එම මුදල් කඩිනමින් අයකර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් යෙදීමට කළමනාකරණය විසින් කටයුතු කළ යුතු බවට ද විගණනය මගින් නිර්දේශ කර තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ ආචාර්යවරයකුගේ බැඳුම්කර වටිනාකම මාසික වැටුපෙන් රුපියල් ලක්ෂය බැගින් අයකර ගෙන යනු ලබන බවය. ආචාර්යවරුන් තිදෙනකු පාලක සභාව විසින් සේවය අත්හැර ගියාසේ සලකා ඇති බවත් ආචාර්යවරුන් දෙදෙනකු මෙතෙක් බැඳුම්කර මුදල් ගෙවීමට කටයුතු කර නොමැති බවත් විශ්වවිද්‍යාලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. එක් ආචාර්යවරියකට ගිවිසුම් හා බැඳුම්කර වටිනාකම ගෙවන ලෙසට දැනුම් දී ඇති බව ද විශ්වවිද්‍යාලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. රුහුණ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here