සැඟවී සිටින නීතිඥවරයා අල්ලන්න පොලිස් කණ්ඩායම් 6ක්
පොලිස් ඇසට වැලි ගසමින් සැඟවී සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
සැකකාර නීතිඥවරයා පදිංචි නිවස ඇතුළු ස්ථාන රැසක් පොලිසිය විසින් දින දෙකක් තිස්සේ පරීක්ෂා කර ඇතත් ඔහු එම ස්ථානවල සිට නැත.
මේ අතර සැකකරු සිය ජංගම දුරකථනය පවා විසන්ධි කරගෙන සැඟවී සිටින බව විමර්ශන නිලධාරීහු කියා සිටිති.
ගල්කිස්ස අධිකරණයේ ප්‍රධාන ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකුට ඉතාම අසභ්‍ය ආකාරයට බැණවැදී රාජකාරියට බාධා කරමින් අශෝභන ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් නීතිඥ වන්නිනායක මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙම සිද්ධිය සම්බන්දයෙන් අවධානය යොමු කළ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට නියෝගයක් කර තිබිණි. එහෙත් සැකකාර නීතිඥවරයා ආගිය ස්ථානයක් සොයාගැනීමට පොලිසිය ඊයේ සවස්වනතුරුම සමත් වී නොතිබිණි.
සැකකාර නීතිඥවරයා පොලිසියට හෝ අධිකරණය වෙත භාරවන බවත් ඊයේ සවස්වනතුරුම දැනුම් දී නොතිබිණි.
සැකකරු කෙසේ හෝ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා පොලිස් මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවත් විමර්ශන නිලධාරීහු පවසති.
හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන
Saru FM Media